ලාංකේය රේඩියෝ වංශකතාවේ සංක්‍රාන්තික සමයක් තමයි ලෝක යුද්ධකාලය කියන්නේ. 1931 දි වගේ අධිරාජ්‍යවාදී විකාශය බ්‍රිතාන්‍යන් විසින් ලංකාවට විකාශන කටයුතු පවරනවා. නිකම්ම නෙවෙයි ඊට විශාල පිරිවැයක් දරන්නත් සිද්ධ වෙනවා. මුල් කාලයේ ගුවන්විදුලිය ගැන කතා කරද්දි විකාශන තාක්ෂණය ගැන තමා ලොකුවට උනන්දු වුනේ, ඒ කියන්නේ තාක්ෂණික සීමාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. ඒත් වැඩසටහන් අන්තර්ගතය හෝ වැඩසටහනේ ගුණාත්මකබව බලන්න වැඩිය තේරුමක් තිබ්බේ නැ. ඒකට හේතුව වුණේ ඒ කාලෙ හිටපු විදුලි ඉංන්ජිනේරුවන් සහ තාක්ෂණික නිළධාරීන්ම තමයි නිවේදක සහ වැඩසටහන් නිෂ්පාදක භූමිකාවත් ඉටු කළේ (අද වගේ ඒ කාලේ ඩිග්‍රි තිබ්බෙ නෑ දෙකම එකට බැලන්ස් කරන්න).
බොහොමයක් දෙනා ස්වෙච්ඡාවෙන්ම තමා ගුවන්විදුලියේ වැඩට ආවෙ, ඉතින් මේ සබ්බපාණභූත හිතානුකම්පී පිරිවරට නොමිලේ බීර බෝතල් දෙක ගානෙ දීලා තියනවා සේවය ඇගයීමක් විදියට. හැබැයි කාලයත් එක්ක භාණ්ඩාගාරෙ හිස් වෙද්දි වීදුරු දෙකක් දක්වා පහළ බැහැලා තිබුණා. කොහොම හරි මට කියන්න ඕන වුණේ කට්ටිය සැහෙන්න පරිශ්‍රමයක් දැරුවා මේක ගොඩ නංවන්න කියන එකයි.
1930 මැද වෙද්දි වැඩසටහන් අංශයේ මදිපාඩුව දැකලා වෙනම අධ්‍යක්ෂවරයෙක් පත් කරනවා. ඒ BBC අත්දැකීම් සහිත ෂර්ලි ද සිල්වා කියන මහත්මයා. ඒ 1937 අවුරුද්දේ. ඔහුගේ ආගමනයත් එක්ක ගුවන්විදුලියේ අංශ දෙකක් ඇතිවෙනවා. ඒ වැඩසටහන් අංශය සහ තාක්ෂණික අංශය විදියට.
මුල් කාලයේ සිංහල අංශයේ විකාශන එච්චර හොඳ මට්ටමක තිබුණේ නෑ. කොටින්ම ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍ය වැඩසටහන්වලට වගේ ඉඩක් සිංහල මාධ්‍ය වැඩසටහන්වලට තිබුනේ නෑ ( බලන්න නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ!). ඒත් ඒකට හේතුව වුනේ හරි හමන් සිංහල නිවේදකයෙක් නොවීම. ඕන්න ඒ නිසා ලංකා ගුවන්විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා විදියට 1938 දී ඩී. එම්. කොළඹගේ මහත්තය බඳවා ගන්නවා. ඊට පස්සේ 1943 දී තේමිස් ගුරුගේ මහත්තයාත් (එයාව නම් මතකයි නේ?) ඊට පස්සේ පිළිවෙළට කරුණාරත්න අබේසේකර, ඩී. එම්. ගුණපාල, සරත් විමලවීර වැනි නිවේදක මහත්තුරු ගුවන්විදුලිය එක්ක සම්බන්ධ වුණා.
ඒ විතරක් නෙවෙයි ආර්. ආර්. ඇන්ඩර්සන්, ටී. වී. ක්‍රෙට්සර්, ඊ.ජී. රැන්කින් වැනි මත්තුරු ද, විනයාගමූර්ති, එස්. සිවපාද සුන්දරම්, එස්. නටරාජා ආදී මහතුන්ද ඉංග්‍රීසි සහ දමිළ අංශවල වැඩසටහන් සඳහා ලොකු සහයෝගයක් දීලා තිබුණා.
1940- 1950 කියන්නේ ගුවන්විදුලියට එක්තරා විදියට ලැබුණු හොඳ කාලයක්. ඔය කාලෙ ඇතුළත තමයි ගුවන්විදුලියට කියල ස්ථිර ගොඩනැගිල්ලක් ලැබුණේ. 2වන ලොක යුද්ධයත් එක්ක සැහෙන්න ප්‍රශ්න ආවත් කොහොම හරි විකාශනය අඛණ්ඩව පවත්වාගන්න මේ නිළ්ධාරී මහත්තුරු කැප වුණා. ඒත් ඉතිං රජයට මේක මදි වුණා (එදා අද කියලා ලොකු වෙනසක් නැනේද?). සාමාන්‍යයෙන් අපෙක්ෂිත ප්‍රතිපල නොලැබෙන ආයතනක නම් ඊලඟට මොකද වෙන්නේ? හරියට හරි ඔයා හිතුවා. එයාලත් ඔයා හිතුව වගේම කමිටුවක් පත් කළා. සර් නන්දයියා වෛද්‍යනාදන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව. මේ කමිටුවේ වාර්තාව ආවෙ මෙන්න මේ විදියට.
- ලංකා ගුවන්විදුලියට වාර්ෂිකව ලබා දිය යුතු මුදල් ප්‍රමාණය වැඩිකළ යුතුයි.
- හුදු විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් පමණක් නොව අධ්‍යාපනික මාර්ගයක් ලෙසද ගුවන්විදුලිය සංවර්ධනය විය යුතුය.
- නිරන්තරව තොරතුරු ප්‍රවෘත්ති විකාශය කළ යුතුය.
- ඉංග්‍රීසි ගුවන් කාලයට සාපෙක්ශව සිංහල සහ දමිළ ගුවන්කාලයද වැඩිකළ යුතුය.
- සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය කරවන අදහසින් මහජනතාව රැස්වන ප්‍රසිද්ධ ස්ථානවල ගුවන්විදුලිය ඇසෙන සේ විකාශය කළ යුතුය.
හැබැයි ලෝක යුද්ධය නිසා හෙම්බත්වෙලා උන්නු යුරෝපයට සිද්ධ වුණා තමන්ගේ යටත් විජිත රාජ්‍යන් වෙනුවෙන් වෙන්කරන මුදල් කප්පාදු කරන්න ( අපිට කියලා විශේෂයක් නෑ). ඒ නිසා ඔය නිර්දේශ වලට අදාළ බොහොමයක් ඉටු නොවුනත් අලුත් සම්ප්‍රේෂණාගාරයක්, ගුවන් විකාශන කාලය දීර්ග කිරීමක්, සජීවී වැඩසටහන්, වැඩසටහන්වල ප්‍රමාණාත්මක සහ ගුණාත්මකබව පිළිබඳ සැලකිලිමත් වීම, ජනගී එක් රැස්කොට පටිගත කිරීම සහ සංරක්ෂණය වගේ දෙවල් ගොඩක් සිද්ධ වුණා ( උන්නු හැටියට මළා මැදෑ).
ජපන්නු කොළඹට බෝම්බ දැම්මට පස්සේ තමයි අපිට ලෝක යුද්දේ උණුහුම ටිකක් දැනෙන්න පටන් ගත්තේ (කොරෝනා නිසා එක්කෙනෙක් සෙත්තපෝචි වෙනකල් ලංකාවෙ අය ඉබාගාතේ දුවනවා වගේ තමයි ඒකත්). ඉතිං ඒ කාලේ අධිරාජ්‍ය සෙබලු ඇවිල්ල කඳවුරු බැන්දේ ටොරිංටන් චතුරස්‍රේ. දැන් ටොරිංටන්වල විරාජමානව උන්නු ගුවන්විදුලියට සිද්ධ වුණා ඔක්කොම අකුලගෙන බොරැල්ල කොටා පාරේ බවර් බිල්ඩිමට ට්‍රාන්සර් වෙන්න. මැදිරි දෙකයි පහසුකම් හිඟයි. ඒත් සැලුනේ නෑ හිතවතුණි, අමාරුකම් මැද විකාශන කටයුතු කරගෙන ගියා.
මේ අතරේ සෙබලුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ප්‍රචාරය කරන්න කියලා එවකට ජනප්‍රිය ග්‍රැමෆෝන් තැටි සමාගමක් වූ “කොලොම්බියා මාස්ටර් වොයිස්” වෙතින් වටිනා තැටි තොගයක් ලැබුනා. ඒ තැටි තාමත් තියනවා, ලෝකෙ වෙන කොහෙවත් නෑ ඒතරම් වටිනා තැටි එකතුවක්. SLBC ගිය වෙලාවක අහලා බලන්න කාගෙන් හරි මේ ගැන. BBC එකෙන් පුහුණු නිළධාරීන් පිරිසක් ලංකාවට එන්නේ මේ යුද්ධෙට ආව සෙබළු වෙනුවෙන් වැඩසටහන් නිෂ්පාදනය කරන්න. ඒ නිසා ආභාසයත් එක්ක ලංකා ගුවන්විදුලියේ අන්තර්ගතය වඩා සරු එකක් බවට පත්වෙනවා. ප්‍රවෘත්ති ආකෘතිය, වැඩසටහන් ආකෘතීන් එහෙම වෙනස් වෙනවා.
මේ කාලයේ අග්නිදිග ආසියානු සහ මධ්‍යම අප්‍රිකානු රටවල සේවය කරන යුධ සෙබළු වෙනුවෙන් වැලිසර පැත්තේ අක්කර 75ක ඉඩමක ගුවන්විදුලි විකාශනාගාරයක් පවත්වාගෙන ගියා. ඒ රේඩියෝ සියැට් නමින්. නිළධාරීන් සිය දෙනෙක් වගේම එයාලට 100kW විකාශනයන්ත්‍ර එහෙම තිබුණා. දෙවනි ලෝක යුද්ධය ඉවර වුණාම සියැට් එක වැඩකට නැති වුණා. ( යුද්දේට ගිය සෙබළු ආයෙ මවු රටට ගියානේ).
එතකොට කොටා පාරේ හිටපු ලංකා ගුවන්විදුලියයි සියැට් එකයි අවබෝධතා ගිවිසුමකට ආවා. ඒ වෙද්දි ටොරිංටන් වල තිබ්බ විකාශනාගාරය තව පුළුල් කරලා තිබුණේ, මැදිරි 12ක නව විකාශනාගාරයක් විදියට. සියැට් එකේ ආම්පන්න ටිකයි ශ්‍රම බලකායත් ඔන්න ඉන්නවා. කට්ටියම එකතුවෙලා “ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය ” කියලා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් පිහිටුවා ගන්නවා. මෙහි ප්‍රථම අධ්‍යක්ෂවරයා වන්නේ පෝන් ලැප්සන් මහතා. ඔහුගේ ධූරය තමා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ. ඒත් එක්කම ගුවන්විදුලිය ස්වාධීන ආයතනයක් වනවා.
අදට වෑර්ලස් කොලම ඇති නේද? ඊළඟ දවසේ කියන්නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වග. කැම්පස් එකේ කට්ටිය කියන විදියට කිව්වොත් SLBC එකේ විස්තරේ. එතෙක් සුබ දඩයම්.
සටහන : සිතාරා සෙව්වන්දි
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ආදි ජේෂ්ඨ (17 කණ්ඩායම )
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී පාලි මණ්ඩපය.
මෙම ලිපියේ පලවෙනි කොටස
දෙවෙනි කොටස
Comments
Post a Comment