වාචික හා අවාචික සන්නිවේදනය

               සන්නිවේදනය ගැන ඉගෙන ගන්න විද්‍යාර්ථියෝ විදිහට අපි දැනගන්නම ඕනේ කරුණක් තමයි මේ සන්නිවේදනය කියන්නේ මොකක්ද කියන කාරණාව. සන්නිවේදනය මුලින්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.
  • මානව සන්නිවේදනය
  • සත්ත්ව සන්නිවේදනය
මේ තුළින් මානව සන්නිවේදනය කියන්නේ අපි හැමෝම එදිනෙදා අවශ්‍යතා සපුරාගන්න සිදුකරන තොරතුරු හුවමාරුවයි. අතීතයේ ඉඳන්ම මානව සන්නිවේදනය විවිධ ආකාරයෙන් පැවතුණා. මුලින්ම ගල්යුගය, දඩයම් යුගය, එඬේර යුගය ආදී වශයෙන් ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් ආපු මේ මානව පරිණාමය තුළ විවිධාකාරයෙන් සන්නිවේදනය යොදාගැනුණු විදිහ මීටකලින් පාඩමක සඳහන් වුණා. මානව සමාජයේ පැවැත්ම හා සංවර්ධනය තුළින් වෙන් කළ නොහැකි සාධකයක් තමයි සන්නිවේදනය කියන්නේ.

මානව සන්නිවේදනය
මානවයා අතීතයේ පටන් සන්නිවේදනය සඳහා විවිධ ක්‍රම අනුගමනය කළා. ඒවා,
  • වාචික සන්නිවේදනය
  • අවාචික සන්නිවේදනය
  • ශ්‍රව්‍ය සන්නිවේදනය
  • දෘශ්‍ය සන්නිවේදනය
  • ලිඛිත සන්නිවේදනය
  • විධිමත් හා අවිධිමත් සන්නිවේදනය ලෙස කොටස් කරන්න පුළුවන්.

වාචික සන්නිවේදනය
                                  වාචික සන්නිවේදනය වචන භාවිත කරමින් කරන සන්නිවේදනයයි. මේ සඳහා කුමන හෝ භාෂාවක් දැන සිටීම අවශ්‍ය නමුත් භාෂාවේ නිපුණත්වයක් අවශ්‍ය වෙන්නේ නෑ. කතා කළ හැකි ඕනෑම පුද්ගලයෙකුට වාචික සන්නිවේදනයේ යෙදෙන්න පුළුවන්. සාර්ථක සන්නිවේදනයක් සඳහා සන්නිවේදකයා සහ ග්‍රාහකයා යන දෙපාර්ශ්වයම එක් භාෂාවක් දැන සිටීම අවශ්‍ය වෙනවා. එසේ නොවුණ හොත් සන්නිවේදකයා අදහස් කරන තොරතුරු ග්‍රාහකයාට තේරුම් ගැනීමට නොහැකි ලෙස අර්ථ බාධා ඇතිවෙන්න පුළුවන්.
වාචික සන්නිවේදනය තුළින්,
  • තොරතුරු හා අදහස් හුවමාරු කිරීම
  • අන්තර් සබඳතා පැවැත්වීම
  • ගැටුම් නිරාකරණය
  • ඉගැන්වීම, උපදෙස් දීම, මග පෙන්වීම ආදිය සිදුකර ගැනීමට හැකිවෙනවා.
 වාචික සන්නිවේදනය තුළ වචන 7%ක් , රිද්මය 38%ක් සහ අවාචික සංඥා 55%ක් පවතිනවා.



නිර්වාචික (අවාචික) සන්නිවේදනය
                                   වචන භාවිතයෙන් තොරව සිදුවෙන සන්නිවේදනය අවාචික සන්නිවේදනයයි. සංඥා, සංකේත, හඬ භාවිත කරමින් අවාචික සන්නිවේදනය සිදුවෙනවා. ඒ වගේම සිරුරේ විවිධ අංග ලක්ෂණ තුළින් ද අවාචික සන්නිවේදනය සිදුවෙනවා. සෑම පුද්ගලයෙක්ම දෛනික ජීවිතයේදී අවාචික සන්නිවේදනය බහුලව භාවිත කරනවා. ඉරියව්, මුහුනේ භාව ප්‍රකාශන, ඇස් සම්බන්ධතා (eye contact), ස්පර්ශය, ඉඟි බිඟි පෑම්, නිහඬතාවය, ඇඳුම් පැළඳුම්, පෙනුම හා හැසිරීම් වැනි දේවල් අවාචික සන්නිවේදනයට ඇතුළත් වෙනවා. වාචික සන්නිවේදනයක් වඩාත් සාර්ථක වීමට සඳහා ද අවාචික සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.
1976 දී ගලී සහ ලෙදර්ස් අවාචික සන්නිවේදනයේ කාර්ය 6 ක් පෙන්වා දී තිබෙනවා.
1. අන්තර්පුද්ගල සන්නිවේදනයේදී අර්ථය වටහා ගැනීමට අවාචික සන්නිවේදනය උපකාරී වෙයි.
2. වාචිකව ඉදිරිපත් කිරීමට සාපේක්ෂව හැඟීම් සහ භාව හොඳින් ප‍්‍රකාශ කිරීමේ හැකියාව.
3. අර්ථ හා අභිප‍්‍රාය ගැටලූවකින් තොරව ප‍්‍රකාශ කිරීමේ හැකියාව.
4. අවාචික සංඥා හා ඉඟි නිසා උසස් සන්නිවේදන මට්ටමක් ඇතිවීම.
5. වාචික සංකේත වලට වඩා අවාචික සංඥා කාර්යක්ෂමවීම.
6. යමක් ඇඟවීමට හෝ යෝජනා කිරීමට වඩාත් සුදුසුතම මාධ්‍යය වීම.

හිතනවා ඔයාලට මොනවම හරි දෙයක් තේරෙන්න ඇති කියලා. ජීවිතේට මොනවම හරි වටින දෙයක් මේ කාලය ඇතුලෙදි එකතුකරගන්න. මේ කලබල ඉවර වෙනකන් පරිස්සමට ගෙදරට වෙලා ඉන්න. 
ඔබට නිරෝගිමත් සුබ දවසක්!

සටහන : දිලිනි බටුවිට
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments

  1. I've learned a lot from this akki.Hope you write more articles about media studies.

    ReplyDelete
  2. This is really great work akki..it is very important for those who study media like us. Thanks for that

    ReplyDelete

Post a Comment