මාධ්‍ය සංස්කෘතිය

සංස්කෘතියක් කියන්නෙ මොකක්ද?

මිනිස් චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සංස්කෘතිය නියෝජනය කරනව. ඔයාගෙන් ඇහුවොත් සමාජයද සංස්කෘතියද විශාල කියල? නූතන යුගය වෙද්දි නම් දේශපාලන විද්‍යාව වගේ විශයන් අස්සෙ මේකට කිව්වෙ සංස්කෘතිය තියෙන්නෙ සමාජය ඇතුලෙ. සමාජයක් හැදෙන්නෙ මෙහෙම සංස්කෘති එකතුවක් එක්ක කියල. ඒත් මේක පශ්චාත් නූතන යුගයෙදි (1950 න් පසු) ටිකක් වෙනස් උනා. ඒක උනේ කොහොමද කියන්න කලින් සංස්කෘතියක් කියන්නෙ මොකක්ද කියල බලමු.

 මානව දිවිපැවත්ම මෙහෙය වන ප්‍රධාන සාධකය වෙන්නෙ මේ  සංස්කෘතිය. මුලින්ම සංස්කෘතියක් කියන්නෙ මොකක්ද කියල  නිර්වචන කිහිපයක් එක්ක විමසල බලමු.


සමාජ විද්‍යාඥ ඊ.බී. ටයිලර් 

“ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීතිය, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. ”


රේමන්ඞ් විලියම්,
“ සංස්කෘතිය යනු සමස්ත ජීවන මාර්ගයයි.’


මාර්ටින් වික්‍රමසිංහ 
“ සංස්කෘතිය යන වචනෙන් හැඳින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර වස්තු හා ධර්ම සමූහයන් නොවෙි. හේතු ප්‍රත්‍යයක් ලැබෙන සැටියෙන් වෙනස් වන උපකරණ හා ධර්මයන් සමූහයකි.”


බී.මැලිනොවුස්කි - (Scientific theory of culture)
“සාකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තා වූ පාරම්පාරික වශයෙන් ලබා ගන්නා වූ සියළුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය සංස්කෘතියයි.”


ෆිස්කි
    ’‘ අපගේ සමාජ අත්දැකීම්වල හා ඒ තුළින් අර්ථ නිශ්පාදනය කිරීමේ අනාවරණ ක්‍රියාවලිය සංස්කෘතියයි.”


මේ තමයි සමාජ විශ්ලේෂකයන්, මතදාරීන්, සන්නිවේදන විශේෂඥන්, සංවර්ධන විශේෂඥන් සංස්කෘතිය හඳුන්වපු ආකාරය.

දැන් බලමු සංස්කෘතිය ගැන තියන පාරිභාෂික වචන ටිකක්.

සමාජ සංවර්ධන කියන මාතෘකාව ඇතුලෙ සංස්කෘතියට අදාලව මේ වගේ වචන ටිකක් පැහැදිලි කරගන්න එක වැදගත්.


සංස්කෘතික දුගී බව  - කොතරම් උසස් යැයි සම්මත  සංස්කෘතියක වුවද දැකිය හැකි දුබල සංස්කෘතික ලක්ෂණ හෙවත් ජාතිවාදය, ආගම්වාදය ,ස්ත්‍රීන් නොසලකා හැරීම,කුලවාදය වැනි ගති ලක්ෂණ මෙයට අයත් ය.

දුගී බවෙි සංස්කෘතිය     - දුගී බව තුළ දිගු කාලයක් ලැග සිටින සමාජයක ස්ථාවර වෙන දුගී බව හා බැඳුණු ගති ලක්ෂණ  සමූහය මෙයට අයත්ය.

   
මානව කේන්ද්‍රනය       - අන් සංස්කෘතීන් අතර තම ජාතිය , ආගම හෝ කුලය උසස් යැයි සිතමින් අන් අය පහත් කොට සලකමින් තමා පිළිබඳ උඩඟු ආකල්පයක් සහිත වීම මෙයින් අදහස් කෙරේ.


සමාජ අනුකලනය        - අන් සංස්කෘතීන් පිළිබඳ ගෞරවයක් ,පිළිගැනීමක් තුළින් ඇතිවන අන්තර් සංස්කෘතික සංහිදියාව මෙනමින් අදහස් කෙරේ.


සංස්කෘතික මිනිසා      - උසස් සංස්කෘතික ලක්ෂණ සහිත මිනිසා මෙයට අයත්ය.

 සමාජ විද්‍යාත්මක  පසුබිමෙන් මේ තියෙන්නෙ බටහිර මතවාදයක් කියන්න ඔයාල අමතක කරන්නෙපා. මොකද අපි මේ ඉගෙන ගන්නෙ ගෝලීයකරණය වෙච්ච සමාජයක තිබෙන විෂයන්. මේවා පදනම් කරන් තියෙන්නෙ බටහිර මූලික මතවාද. ඒ ගැන ලොකුවට දැන් හිතන්න එපා. ගෝලීයකරණය වගේ මාතෘකාවක් ඇතුලෙ ඒ ගැන වැඩියෙන් කතා කරමු.

මෙතන මං link එකක් දානව. සංස්කෘතියක් විවිද ආකරයෙන් අර්ථ නිරූපනය කරනව වගේම විවිධ සංස්කෘති වර්ග තියනව. මේ ගැන සරල අවබෝධයක් ඇති O/L  හරි A/L හරි මීඩියා ඉගෙන ගත්ත කෙනෙක්ට. නමුත් අනිත් කෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ. ඒ නිසා මේක ටිකක් කියවන්න. ඒක මේ ලිපිය කියවන් යන්න උදව්වක් වේවි.


මාධ්‍ය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව

            ඔන්න අපි ප්‍රධාන කතාවට ආවා. අපි හැමෝම දන්න දෙයක් තමයි සමාජය එක එක යුග පසු කලා. සමාජ අවධීන්. ප්‍රාථමික, වහල් ,වැඩවසම් ,ධනවාදී, සමාජ්වාදී මේ වගේ. ඒ එක්කම විවිධ සංස්කෘතීන් වර්ධනය උනා වගේම ඒවා සමාජයෙන් සමාජයට වෙනස් වුණා. ඇදහීම්, ආගම්, භාෂාව,  ආකල්ප,සිරිත් විරිත් අදී වූ පැවැත්මත් ඒ අයට ආවේනික වුණා. මේ අය ජීවත් වුණේ ජන සමාජයේ. ජන සංස්කෘතියක් ඇතුලෙ. එයාල සන්නිවේදනය කලේ සම්ප්‍රදායික මාධ්‍ය තුලින්. ශ්‍රීපාලි එකේදි මේක ජන මාධ්‍ය කියලත් කියනව. ඒක ලොකුවට ගන්නෙපා. ජනමාධ්‍යවේදය විශය තුලනාත්මකව අධ්‍යනය කරන් යද්දි මේ ගැටේ ලිහා ගන්න පුලුවන්.
මේ ජන මාධ්‍ය නැත්නම් සම්ප්‍රදායික මාධ්‍ය උනේ මුල් යුගයේ කොල අතු එල්ලල දුන් ගහල. පස්සෙ මේක දියුණු වෙලා බලි තොවිල්, ජන නැටුම් ජන සංගීතය, හෙල වෙදකම දක්වා පැතිරිලා ගියා. මේක ඇතුලෙ තිබ්බෙ සම්ප්‍රදායික සමාජයේ සංස්කෘතිය ලක්ෂණ.

             ඒත්   මුද්‍රණ තාක්ෂණය පැමිණීමත් එක්කම  ජන ජීවිතවල යම් වෙනසක් දැක ගන්න පුලුවන් වුණා . ඉන් පසුව ගුවන්විදුලිය , සිනමාව ,රූපවාහිනිය සහ අන්තර්ජාලය දක්වා මේක ව්‍යාප්ත වුණා. කලින් ටික දෙනෙක්ට සන්නිවේදය කරල පොඩි දෙනෙක් අතරෙ තිබ්බ මේ  වැඩේ එක පාරටම ලොකු පිරිසක්ට දෙයක් දැනුම් දෙන්න, කියල දෙන්න පුලුවන් මාධ්‍යක් බවට පත් වුණා. මේක සංහතික මාධ්‍ය Mass media කියල කියනව. 

මේ එක්කම සංස්කෘතිය කියන දේ යම් යම් වෙනස්කම් වලට ලක් වෙන්න පටන් ගත්ත. මේ වගේ මාධ්‍යයන්ගේ ආගමනයක් සිදු නොවුනා නම් අද වෙද්දි ගොඩ නැගෙන්නේ වෙනම සංස්කෘතියක්. ඒකෙන් තේරෙනව නේද මාධ්‍යක්, භාෂාවක් එක්ක තමා සංස්කෘතික ගොඩ නැගෙන්නෙ.

දැන් අර මුලින් මං කිව්වෙ පශ්චාත් නූතන යුගය කියල කතාවක්. ඒ කියන්නෙ 1950න් පස්සෙ. ලෝකෙ වෙනස් වීම එක්ක මාධ්‍ය විසින් ලෝකෙ බලය හසුරවන ගාමක බලවේගයක් වෙනව. මේ නිසා කලින් වගේ යුද්දෙට ගිහින් රටවල් අල්ලනව වෙනුවට සංකල්පීය යුද්ධයක් ආරම්භ වෙනව. ගෝලීයකරණය, ජනප්‍රිය සංස්කෘතිය වගේ ඒවගෙන් පැතිරිලා ආවෙ මෙන්න මේක. මේක පැතුරුනේ කොහොමද?? මාධ්‍ය තමා මේක අපි ළගට අරන් ආවෙ. මේක මාධ්‍ය ඔස්සෙ පැතිරිලා ගිය බටහිර මූලික දෙයක්. මේකෙ දේශපාලන දර්ශනය  තමා ලිබරල්වාදය. ආර්ථික මතවාදය ධනවාදය. ඉතින් මාධ්‍ය මේ විදිහට මේක අරන් ඇවිත් ලෝකෙ පුරා මාධ්‍ය ඇසුරු කරන හැම කෙනා ගාවටම ගියා. මේක අස්සෙන් අරන් ගියා දැනුම, ආකල්ප,සිරිත් විරිත්  කොටින්ම කන බොන අඳින පලඳින විදිහත් මිනිස්සුන්ට මාධ්‍ය විසින් කියා දෙන්න ගත්ත. සමාජානුයෝජනය කරන්න ගත්තෙත් මාධ්‍ය. මිනිස්සුන්ට රටේ වෙන්නෙ ලෝකෙ වෙන්නෙ මොනවද කියන එක විතරක් නෙමේ විනෝද වෙන්න කොහොමද? ලෝකෙ අලුත් දේවල් මොනවද? Trend එක මොකක්ද? දැන් fashion එක මොකක්ද වගේ හැම මගුලම මේකෙන් කියල දෙන්න ගත්ත. මේක එක්ක මිනිස්සු ගැටුන වගේම ගොඩක් අය මේක එක්ක හැඩගැහුන. ඉතින් මේකත් එක්ක කලින් තිබ්බ ජන සංස්කෘතිය වෙනුවට මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගුන. අද අපි මේ ඉන්නේ ඒ සංස්කෘතිය එක්ක. ඔයා මේක කියවන ගමන් ඇදන් ඉන්න ඇදුම හිතුවොත් ඒකෙ තියෙන්නෙ අපේ මිට අවුරුදු 100කට කලින් තිබ්බ සංස්කෘතියද? ඔයා මේ අතේ තියන් ඉන්න ෆෝන් එක,  ඔයා දැන් කරන ෆැශන් එක ආවෙ කොහෙන්ද? ඔයා කපල තියෙන කොන්ඩ මෝස්තරේ මේ දවස් වල යුරෝපයෙ වගේම චීනෙත් තියනව නේද? ඒක වෙලා තියෙන්නෙ මේ මාධ්‍ය සංස්කෘතිය කියන දේ එකක.


■    බහුජන සංස්කෘතිය
■    ජනප්‍රිය සංස්කෘතිය
■    සංස්කෘතික නිෂ්පාදන
■    සංස්කෘතික ප්‍රාග්ධනය
■     සංස්කෘතික අධිරාජ්‍යයවාදය
■    ගෝලීය සංස්කෘතිය

මේ වචන බර වැඩි ඇති. මේ ගැන වෙනම ලිපියකින් කියල දෙන්නම්. දැනට මෙහෙම   ප්‍රවනතා මතු වෙන්නෙ සංහතික මාධ්‍යය (Mass media)  බලපෑමෙන්  බව මතක තියා ගන්න.

නිදසුනක් විදිහට ආයෙත්  ගත්තොත්
සමාජය ඇතුලෙ විවිධාකාර  වූ උප සංස්කෘතීන් තියනවනෙ. Mass media විසින් එකී සියලු  සංස්කෘතීන් එකම සංස්කෘතියක් බවට පත් කරනව.සරලව කිව්වොත්  එක විදිහෙ පැවැත්මක් හදනව.  උප සංස්කෘතිය තුළ දැකින්න පුලුවන් යම් යම් දේවල් පොදු සංස්කෘතියේ අංග බවට පත් කරනව.සරල උදාහරණයක් කියනවනම්  නවසීලන්තය මෞරි ගෝත්‍රිකයන් පච්ච (tatoo) භාවිතා කලේ අනිකා බිය වද්දන්න වගේම ආගමික අභිචාර විදිහට. ඒත් අද ඊට සමාන අපූරු tatoo යොදා ගන්නෙ විලාසිතාවක් විදිහට. මාධ්‍ය කොයිතරම් ඒක අරන් ගිහින්ද කියල ඔයාට තේරෙනව ඇති.
දැන් මන් මුලින් ඇහුවෙ සමාජයද සංස්කෘතියද විශාල කියන කරුණ පැහැදිලි ඇති. මොකද කලින් නම් සංස්කෘතිය පොඩි දෙනෙක් අතරෙ තිබ්බ එකක්නෙ. දැන් ඒක ගෝලීය වෙලා. ඉතින් සංස්කෘතිය හා සමාජය කියන එක දැන් මුලුමනින්ම වෙනසක් වෙලා නේද?

ඊලඟ ලිපියෙන් මාධ්‍ය සංස්කෘති ඇතුලෙ  තියන සංකල්පීය හා විශය මූලික කරුණු ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේක දිගට ලිව්වෙ දන්නෙ නැතිම කෙනෙක්ට මැදින් පටන් අරන් කියල දෙන්න බැරු නිසයි. ඊලඟ ලිපියෙන් හමුවෙමු.

සටහන : නුවන් ධනංජය
ජනමාධ්‍ය අධ්‍යනාංශය
තෙවන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

ඔබත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය ලබන හෝ ලැබූ අයෙක් නම්, අර්බුධකාරී තත්ත්වය හමුවේ නවක සිසුන්ට අත්වැලක් සැපයීමට කැමති නම් ජනමාධ්‍ය හෝ ප්‍රාසාංගික කලා කුමන අංශකින් ඔබටත් ලිපි සම්පාදනයට දායක විය හැක. ඔබගේ වටිනා ලිපිය udeni0115perera@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. 

පළමු පාඩම - මාධ්‍ය අභිසාරීතාවය - උදේනි පෙරේරා


දෙවන පාඩම - මාධ්‍ය සාක්ෂරතාවය - මිතිලා පාඨලී සෙනෙවිරත්න 


තෙවන පාඩම - සාම්ප්‍රදායික මාධ්‍ය - මාධව ජයසිංහ 


සිව්වන පාඩම -  වෑර්ලස් කතාව - ජී.බී.සිතාරා සෙව්වන්දි


පස්වන පාඩම - මාධ්‍ය හා ප්‍රචණ්ඩත්වය - මිතිලා පාඨලී සෙනෙවිරත්න.

Comments