සංස්කෘතික ගෝලීයකරණය හා ගෝලීය සංස්කෘතිය.


          සංස්කෘතිය, ගෝලීයකරණය පිළිබඳ සමස්ත සංකථනයෙහි සුවිශාල වැදගත්කමක් දරන ක්ෂේත්‍රයකි. එමෙන් ම තියුණු ලෙස විවාදයට, විචාරයට භාජනය වූ ක්ෂේත්‍රයකි. එසේ වීමට පිටු දුන් ප්‍රධානතම සාධකය වන්නේ සන්නිවේදන හා විඥාපන විප්ලවයෙහි දැවැන්ත වර්ධනයයි. ලෝකයේ ඉතා ඈත දුරාන්ත යා වීමත් පුද්ගලයන් මෙන්ම අදහස් ද ඔබ මොබ සංසරණය වීමත් එකිනෙක හා අන්තර්ක්‍රියා කිරීමත් මානව ඉතිහාසයෙහි අන් කවරදාටත් වඩා ශීඝ්‍ර ලෙස නිදහස්ව හා නිරන්තරව සිදුවෙයි. මේ ප්‍රවහ අනුක්‍රමිකව සංස්කෘතිය, ගෝලීයකරණය වීම කෙරෙහි අතිශය ප්‍රබල ලෙස බලපා ඇත.

    සංස්කෘති සංසරණය වීම හා ඒවා එකිනෙක සම්මිශ්‍ර වීම මිනිසුන් ලොව තැනින් තැනට සංක්‍රමණය වීමත් සමග සිදුවෙයි. මේ භෞමික සංක්‍රමණය මානව ඉතිහාසයේ ඈත අවදි වලදීම දිටිය හැකි ය. පැරණි මිනිස්සු තම සංස්කෘති සමග ලෝකයේ විවිධ කලාප හා මහද්වීප වලට සංක්‍රමණය වූහ. එසේ සංක්‍රමණය වීම ඔවුන්ගේ සංස්කෘතින් ඒ ඒ තනහි මුල්බැස ගැනීමටත් ව්‍යාප්ත වීමටත් හේතු විය. මේ ක්‍රියාවලිය ඓතිහාසික අර්ථයෙන් ගත් කළ සංස්කෘතිය, ගෝලීයකරණය වීමක් ලෙස පෙනී යා හැකිය. එහෙත් එය වර්තමාන ලෝකයේ සිදුවන සංස්කෘතික ගෝලීයකරණය සමග කිසිසේත් සන්සන්දනය කළ නොහැකි ය. මන්ද යත් වර්තමාන සංස්කෘතික ගෝලීයකරණයෙහි ක්‍රියාකාරිත්වය ප්‍රතිරූප හා පරිචිත  පිළිබඳ තීව්‍රතාවය ඒවා සංචලනය වීමේ විස්තාර ප්‍රවේගය ඉතිහාසයේ අන් කවර යුගයකටත් වඩා දැවැන්ත ආකාරයට විපර්යාසයට ලක්කර ඇති බැවිනි. සංස්කෘතික ගෝලීයකරණය එහි නූතනම ස්වරුපය හා ක්‍රියාකාරිත්වය සලකන කල එහි ඉතිහාසයෙහි පෙර දක්නට නොතිබූ ආකාරයේ අනන්‍යසාධාරණ - සුවිශේෂ ගතිලක්ෂණවලින් යුක්ත වූවකි.
   ගෝලීයකරණය ක්‍රියාවලියට සමගාමීව සංස්කෘතිය පිළිබඳ ක්ෂේත්‍රයෙහි සිදුවන විපර්යාස සුවිශද ය; දෘශ්‍යමාන ය. එමෙන් ම ඒවා ප්‍රායෝගිකව මානව වර්ගයා විසින් අත්විඳිනු ලැබේ. තමා ජීවත් වන ලෝකය අතිශය ශීඝ්‍ර ලෙස වෙනස්වන බවත් ඒ වෙනස් වීම තුළ තමන්ට ද වෙනස් වීමට සිදුවන බවත් වර්තමානයෙහි ජීවත් වන්නෝ අවබෝධ කර ගනිති. මානව ජීවිතයේ සෑම පැතිකඩක් ම මේ විපර්යාස මගින් බලපෑම් ලබයි. සංස්කෘතියට අයත් සකලවිධ පැතිකඩ අඩු වැඩි වශයෙන් විපර්යාසයට ලක් වේ. සංස්කෘතික පරිචිතවල අඛණ්ඩ වෙනස්වීම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ යථාර්ථයකි. වර්තමාන නවීන සමාජය තුළ මූලික ගති ස්වභාව දෙකක් පැහැදිලිව ම දිස් වෙයි. එනම් අන්තර් සම්බන්ධිත්වය සහ ජංගමත්වය ය. විවිධ සමජ ශාස්ත්‍රවලට අයත් විද්වත්හු ලොව මෙතෙක් පැවති නන්විධ සීමාවන් බිඳී යාම හෝ ලිහිල්ව යාම නිරීක්ෂණය කරති; අවධාරණය කරති. එමෙන් ම ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ආදී විවිධ ක්ෂේත්‍රයන්හි දිස්වන අසංරුද්ධතාව නැතහොත් අසීමමිත බව වර්තමාන ලෝක සමාජයෙහි මුඛ්‍ය ලක්ෂණයක් ලෙස දකිති. අවකාශය සහ ස්ථානය අතර අතර පැහැදිලි වෙනසක් පෙන්වාදෙන ඔවුහු වර්තමානයෙහි මතු වෙමින් පවතින ජාතික සීමාකාන්ත්‍රික අවකාශ  තුළ අත්දැකිය හැකි සමාජීය ජාල හා ප්‍රවාහයන්හි ස්වභාවය ද නිරීක්ෂණය කරති. ඒවා භෞමිකාධිකාරය හා ස්ථානිීය වශයෙන් සම්බන්ධ නොවේ. 
   ගෝලීයකරණය ක්‍රියාවලිය කරණ කොටගෙන ලොව එක් එක් සංස්කෘතීන් සතු අනන්‍යතාව අද අභියෝගයට ලක් වී තිබේ. එම අනන්‍යතා නැවත ගවේෂණය කිරීමටත් ඒ ඒ සංස්කෘතීන් නැවත විමසා බැලීමටත් ගෝලීයකරණය විසින් සිදු කරනු ලැබ ඇති පරිවර්තනය බලකර සිටී.
   දුර පිළිබඳව මනුෂ්‍යයා සතුව පැවති විජානනය කාලය හා ස්ථානිකත්වය මුල් කොට ගැනුනකි. කිසියම් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති දුර සත්‍ය වශයෙන් ම කුමක් වුව ද යෙන් ම කුමක් වුව ද එක් අන්තයක සිට තවත් අන්තයකට ඇති සැතපුම් ගනණ හෝ ළඟා වීමට ගතවන කාලය කුමක් වුවද අද නවීන ලෝකයට එය වැදගත් නොවේ. දුර එන්න එන්නම කුඩා වෙමින් හැකිලෙමින් පවතී. දුර හෝ දිශාව පිළිබඳ අර්ථකථනයන් ද හීන වෙමින් පවතී. අද වැදගත් වන්නේ දුර හෝ දිශාව නොව එක් අන්තයක් අනෙක් අන්තය සමග පවත්වන සම්බන්ධතාවයි. ඒ සම්බන්ධතාව ඇති කරගැනීමේ ශීඝ්‍රතාව හා ඒ සම්බන්ධතාවන්හි ශක්තිසම්පන්න භාවයයි. ඒ නිසා සත්‍ය වශයෙන් පවතින දුරට ) වඩා සාපේක්ෂ සම්බන්ධක දුර අද වැදගත් වී තිබේ.
   පසුගිය දශක දෙකහමාර පමණ කාලය තුළ විද්‍යුත් ජනමාධ්‍ය උපනිඃශ්‍රිත දැවැන්ත පරිමාණ වෙළඳ ප්‍රචාරණය හා අලෙවිකරණය මගින් සංස්කෘතික නිෂ්පාදන ලොව පුරා ව්‍යාප්ත කෙරිණ. සංස්කෘතික හා විනෝදාස්වාදන නිෂ්පාදන පරිභෝජනය ශීඝ්‍ර ලෙස ඉහළ නැගිණ. මේ සංස්කෘතික නිෂ්පාදන වල ගෝලීය සංසරණය දුර අතිනුත් ප්‍රමාණය අතිනුත් කැපී පෙනෙන ලෙස වර්ධනය විය. බටහිර ටෙලිවිෂන් වැඩසටහන් විශේෂයෙන් ඇමරිකානු නිෂ්පාදන ලෝකය වෙත ගලා ඒම ඇතැම් විචාරකයින් හඳුන්වන්නේ ඒකමාර්ගික ප්‍රවාහයක්  ලෙසිනි. ඊට හේතුව ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛත්වය දිගින් දිගටම ඇමරිකාව විසින් අත්පත් කරගෙන තිබීමයි. 
   ටෙලිවිශනය මෙකී සංස්කෘතික නිෂ්පාදන විසරණයෙහිලා උපයෝගි වන ප්‍රමුඛතම විද්‍යුත් මාධ්‍ය වෙයි. එය එහි කේන්ද්‍රීය බලයක් අත්පත් කොටගෙන තිබේ. එමෙන්ම ටෙලිවිශනයේ ගෝලීය ව්‍යාප්තිය ද ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ නැගිණ. අද එය තනි පුද්ගල වහයෙන් ලබා ගතහැකි දෙයකි. එහි බලය නොයෙක් ආකාරයෙන් විවරනය වී තිබේ. 
   නවීන සමාජ ජීවිතයේ එක් වැදගත් ලක්ෂණයක් වන්නේ එය ඉතා දැඩි ලෙස ප්‍රතිරූප හා විඥාපන වලින් පිරී පැවතීමයි. මේ ප්‍රතිරූප හා විඥාපන අප වෙත පැමිණෙන්නේ නවීන ජන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ය. එයිනුදු ටෙලිවිශනයට ප්‍රමුඛත්වය හිමි වෙයි. ජනමාධ්‍ය නිෂ්පාදන විසින් සමස්ත සමාජයම වෙළාගනු ලැබීමේ ක්‍රියාවලිය තුළ ටෙලිවිශනය අති ප්‍රබල වූත් කේන්ද්‍රීය වූත් කාර්යභාරයක් ඉටු කරයි.
      යථෝක්ත පරිවර්තනය නිසා අනන්‍යතාව කෙරෙහි ඇති වී තිබෙන බලපෑම ඉතා විශාලය. අද ලෝකයේ ජීවත්වන ජනතාව බහුත්ව අනන්‍යතා ඇති මිනිසුන් බවට පත් වීමේ ප්‍රවණතාවක් හටගෙන ඇත. ශීඝ්‍ර ලෙස අනුකලනය වන ලෝක සමාජය තුල ස්වාධීන සංස්කෘතික අනන්‍යතාව යනු යථාර්ථ වශයෙන් පැවතිය හැකි දෙයක් නොවේ යැයි සමහරු තර්ක කරති. අනන්‍යතා වෙනස් වෙයි; නව ස්වරූප ගනී. සෑම අනන්‍යතාවක් ම අර්ථකථනය කළහැකි වන්නේ ලෝක සමාජය මගින් සහතික කරන ලද සංස්කෘතික රාමු වලට අනුගතව ය.
   ප්‍රායෝගික යථාර්ථයක් ලෙස ක්‍රියාවට නැගෙන කල්හි සංස්කෘතිය තුළ සිදුවන පරිවර්තන නොතකා  සිටීමට නුපුළුවන. අනන්‍යතාව පවත්වා ගැනීමට වෙසෙසින් සාකච්ඡා කල මනා ප්‍රස්තුතයකි. අන්තර් සම්බන්ධතා බහුල වීමත්, මිනිසුන්ට නිදහස් ලෙස සම්මිශ්‍ර වීමට ඇති අවකාශය පෘථුල වීමත්, මානව ජීවිතයේ හැඩරුව නූතන සන්නිවේදන හා විඥාපන විප්ලවය විසින් බරපතල ලෙස විපර්යාසයට භාජනය කරනු ලැබීමත් නිසා අනන්‍යතා අභියෝගයට ලක් වී තිබේ. මෙය ඒ ඒ ජන කොටස් වලට ස්වකීය සංස්කෘතිය නැවත ගවේෂණය කිරීමටත් ඒ වෙනස් වන සංස්කෘතීන්හි හැඩරුව නැවත නිර්ණය කර ගැනීමටත් මග පාදන තත්වයකි.
   සංස්කෘතිය පිළිබඳ විෂය ක්ෂේත්‍රයේදී ගෝලීයකරණය හා එහි ප්‍රතිඵල සාකච්ඡා කරනු ලබන්නේ සමකාලීන මානව ජීවිතය තුළ උද්ගත වන පරිවර්තන කේන්ද්‍ර කොට ගෙනයි. මේ පරිවර්තන විවරණය කරනු පිණිස වඩා උචිත ව්‍යවහාරයක් ලෙස ගෝලීය සංස්කෘතිය ) යන පදය සමහරු භාවිත කරති. ගෝලීය සංස්කෘතිය කියා කිසිවක් තිබේ ද - එවැන්නක් ක්ෂණිකව හඳුනාගත හැකි ද - එසේ පවතී නම් ඒ කුමක් දරෑ
      ගෝලීය සංස්කෘතිය ජාතික සංස්කෘතිය  හෝ දේශීය සංස්කෘතිය ලෙස හඳුනා ගැනෙන ප්‍රපංචයන්ට විකල්ප වූවකි. ජාතික හෝ දේශීය සංස්කෘතිය යන ව්‍යවහාර තුළ නිශ්චිත සුවිශාල ජන සමූහයක් සඳහා වන දැඩි භාවමය ගුණවාචක අර්ථයක් ගැබ්ව පවති. එහෙත් ගෝලීය සංස්කෘතිය එබඳු නිශ්චිත ජන සමූහයකට වර්ගයකට අයත් ආකර්ෂණයකින් යුක්ත වූවක් නොවේ. ගෝලීය සංස්කෘතිය කිසිදු විශේෂිත රාජ්‍යක අධිකාරී බලයට හෝ ජාතික සංස්කෘතික පරිසරයට ගැට ගැසී ඇති දෙයක් නොවන බව මයික් ෆෙදර්ස්ටෝන් (1996) කියයි. ලෝකය තුළ ක්‍රමයෙන් බිහිවන තුන්වැනි සංස්කෘතික ගොනුවක්  ලෙස මෙය හඳුනාගනු ලැබේ. විවිධ වූත් විහිදෙන විභින්න වූත් සංස්කෘතික ප්‍රවාහයන්ටඑකට ගලා යා හැකි ප්‍රණාලියක් ලෙස ගෝලීය සංස්කෘතිය ක්‍රියාත්මක වෙයි. මෙය ජාතික රාජ්‍ය අතර පවතින්නා ද්වීපාර්ශ්වික ගනුදෙනුවක නිර්මිතයක් නොවේ. එමෙන්ම එකී විශ්ව සංස්කෘතියක් හෝ ලෝක රාජ්‍යකට බැඳුණු සංගත සංස්කෘතියක් ලෙස හෝ අර්ථකථනය කර ගැනීමට ද අවශ්‍ය වන්නේ නැත
   සංස්කෘතික ඒකාබද්ධතාව සහ සංස්කෘතික )  ව්‍යනුකලනය යන දෙආකාරයට ම අයත්වන ගෝලීය සංස්කෘතික ක්‍රියාවලීන් අන්තර් රාජ්‍ය සම්බන්ධතාවලින් නිදහස්ව හඳුනාගනු ලැබේ. ඉන් සමහරක් සංස්කෘතික ක්‍රියාවලින් භාණ්ඩ හා පරිභෝජන සංස්කෘතිය පිළිබඳ ක්ෂේත්‍රය තුළ සමජාතීයතාවක් නියෝජනය කරයි.
 ගෝලීය සංස්කෘතිය බහුල ලෙස විවර වී තිබෙන්නේ ජනමාධ්‍ය විසින් හසුරුවනු ලබන්නේ නිර්මිතයක් ලෙසිනි. එසේ වීමට හේතුව ඉතා පැහැදිලි ය. එනම් සංස්කෘතික ක්ෂේත්‍රය තුළ සිදුවන ගෝලීයකරණය එමගින් ක්‍රියාවට නැංවී තිබෙන ශීඝ්‍ර සමාජ සංස්කෘතික පරිවර්තනය නව සන්නිවේදනය හා ජනමාධ්‍ය නිෂ්පාදන කේන්ද්‍ර කොටගත් එකක් වීමය.
   බටහිර සිට ලෝකයේ අවශේෂ රටවලට බෙදා හැරෙන මාධ්‍ය හා පාරිභෝගික නිෂ්පාදනවල නිස්සාරත්වය සලකන සමහරු ඒ සමග සංස්කෘතිය යන පදය සම්බන්ධ කිරීම ද ගැන උරණ වෙති. මේ නොඉවසීම අරුචිය තවත් පිරිසක් දකින්නේ සංස්කෘතිය පිළිබඳව අතීතයේ සිට සිදුවන උසස් පහත් භේදය එනම් ප්‍රභූ සංස්කෘතිය  ජන සංස්කෘතියට) වඩා උසස් ලෙස සැලකීම පිළිබඳ විවාදයෙහිම ආවර්ජනයක් හැටියට ය. කෙසේ වෙතත් වර්තමානයේ ගෝලීය සංස්කෘතිය ලෙස ප්‍රචලිත වී ඇති දෙය සම්පූර්ණයෙන්ම නූතන සිද්ධියකි. එය බටහිර පරිභෝජන සංස්කෘතිය සමග බරපතල ලෙස තුල්‍යාර්ථක වන සංසිද්ධියකි. 
මේ පිළිබඳව අතිශය පෘථුල විග්‍රහයක යෙදෙන ලෙස්ලි ස්ක්ලෙයාර් (1991) කියා සිටින්නේ ගෝලීය සංස්කෘතිය වූකලී ආශා, අපේක්ෂා, හැඩහුරු ගැන්වීම, අවශ්‍යතා නිර්මාණය කිරීම හා එමගින් ධානා්පාර්ජනය සඳහා නව අංගණයක් විවෘත කර ගැනීම සඳහා ධනවාදය ප්‍රතිව්‍යුහගත කිරීමේ සෘජු ප්‍රතිඵලය බවයි. වික්‍රියවස්තුකරණය , වාණිජකරණය පරිභෝජනවාදය  හා මාධ්‍ය මගින් සිදුවන සංස්කෘතික පරිහානිය ) ගෝලීය සංස්කෘතියෙහි මුඛ්‍ය ලක්ෂණ බවට පත් වී තිබේ. මෙහි දී දැවැන්ත පරිමාණ වෙළඳ ප්‍රචාරණයත් සන්නිවේදන කර්මාන්තයත් අතිශය තීරණාත්මක භූමිකාවක් අත්පත් කොටගෙන සිටී
   අතිශය පෘථුල විස්තීර්ණ භාණ්ඩ හා සේවා ජාතික සීමාක්‍රාන්තික ආකෘති හා විලාස විවිධ විචිත්‍ර නිෂ්පාදන හා සමාජීය පරිචිත රැගත් පරිභෝජනවාදී ගෝලීය සංස්කෘතිය ජාතික භාෂා ඉක්මවමින් නව ලෝක සංස්කෘතියක් නිර්මාණය කර ඇත. මේ සංස්කෘතිය ඇති කිරීමටත් ස්ථාපනය කිරීමටත් ජනමාධ්‍ය හා සන්නිවේදන කර්මාන්ත සෘජුවම කටයුතු කර ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ. 
1. අන්තර්ජාලය 
2. අශෝක කුමාර. දර්ශන, ජනප්‍රිය සංස්කෘතිය.
3. විජේකෝන් චන්දන, පුවත්පතේ කතන්දරේ. 
4. වීරසිංහ ටියුඩර්, ගෝලීයකරණයේ මතවාදයද්‍ර. සෙනරත් සුගත්, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන ප්‍රවේශය. 
5. හේරත් සමන්ත, ගෝලීයකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය.


සටහන : උපේක්ශි ද සිල්වා
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments