කොරෝනා කාලෙ ආලෙ ඩබල් වෙනවා නේද අසයිමන්ට් ආවම? කට්ටිය අසයිමන්ට් භීතිකාවෙන් පෙළෙන නිසා වෑර්ලස් කතාව මග නවත්තලා මේ චැප්ටර් එක පෙරලුවේ. අංක එක මෙව්වා නෝට්ස් නෙවේ දරුවනේ. කැම්පස් එකේ දි ඉස්කෝලෙ කාලෙ වගේ නෝට්ස් ලියලා සංරක්ෂණය කරලා නෑ. ඒ නිසා පුරුදු වෙන්න ඒ දේ ගවේෂණය කරන්න.
මේ දවස් වල පුස්තකාලයක් භාවිතා කරන්න බෑනේ. (ඔන් ලයින් ලයිබ්‍රි නම් පුලුවන්, සල්ලි තමා ප්‍රශ්නේ) ඒ නිසා අපි බලමු අසයිමන්ට් එකක් ආවම පිළිවෙලට ලියාගෙන යන්නේ කොහොමද කියලා. අසයිමන්ට් එකක් කියන්නේ මොකක්ද? ලියන්න ඕන කරන මූලික මෙවලම් සහ උපදෙස් ටික මේ ලින්ක් එකෙන් බලාගන්න. (https://mediavalueinfo.blogspot.com/2020/03/whatis-assignments.html?m=1)
සාමාන්‍යයෙන් රචනාව වගේ ලියාගෙන යන පැවරුමක මුල මැද අග කියලා බෙදා ගන්න. මුලින් කරන්න ඕන අදාළ ප්‍රශ්නය හැඳින්වීම සහ ප්‍රවේශ වීම. ඊට පස්සේ අදාළ පිළිතුරට ගලගෙන යන්න දෙන්න අන්තිමට සාරාංශය එක්ක පොඩි පහේ නිගමනයක් දාන්න (ඒක පැවරුමේ ප්‍රශ්නයට අනුව සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්).
හරි දැන් ලියන්න කලින් හොයන්න පටන් ගන්න ඕන. මතක තියාගන්න ඔයාලා හොයාගන්න හැම කරුණකම අයිතිකාරයා කවුද කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. ඒ කියන්නේ හිතු මනාපෙට ලියාගෙන යන්න බෑ, ඉස්කෝලෙ කාලෙ වගේ සාහිත්‍යමය වචනවලට ලකුණු ලැබෙන්නෙත් නෑ. අනික තාර්කිකව ලියන තරමට ඔයාගෙ පැවරුම ගොඩ. අපි විමර්ශනය කළ ග්‍රන්ත මොනවද කියලා ලියන විදියත් ඉක්මනටම කියන්නම්. එතකල් අසයිමන්ට් එකේ ඉතිරි ටික සම්පූර්ණ කරගන්න.
පූර්විකාව ඉවරයි දැන් ටොපික් එකට.
ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ හරි අපූරු සංහතික මාධ්‍යයකට. ශක්‍යතා සහ සීමා කිව්ව ගමන් කට්ටියම වචනවලට බය වුණා ද ? හොඳට බලන්න මාතෘකාව දිහා, ලස්සන සිංහල වචන ටිකක් වුණාට තේරුම හරිම සරලයි. ශක්‍යතා කියන්නේ හැකියාවට. සීමාවන් කියන්නේ බාධාවලට. දැන් ඔයාට තියෙන්නේ රේඩියෝ මාධ්‍ය සතු හැකියාවන් ටිකයි රේඩියෝ මාධ්‍යට තියන බාධා ටිකයි හොයාගන්න එක. ඔය වගේ දෙයක් පොත්වලින් හොයන්න කලින් ඔයාගේ සහජ බුද්ධිය පාවිච්චි කරලා ඉන්න. රේඩියෝ එකක් ඔය හැම ගෙදරකම තියනවා නේද? ටීවී නැතත් රේඩියෝ එකක් නැති ගෙදරක් නෑනේ. බැටරි දාන රේඩියෝ එකක් හරි විදුලියෙන් ක්‍රියාත්මක වෙන එකක් හරි ඒ මුකුත්ම නැත්තම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක: ඒකෙත් තියනවනේ. දැන් ඔයාගේ සිඟිති මොළයට එන්න ඕන අඩේ රේඩියෝව නැති තැනක් නෑනේ කියලා (මුල් කාලෙ ඔව්වා එක පාරට මීටර් වෙන්නේ නෑ. කාලයත් එක්ක හිත පුහුණු කරන්න. ශ්‍රී සර් ඕකට කියන්නේ සංගත සිත ඇතිකරගන්නවා කියලා). මං ඒ කියලා දුන්නේ සරල උදාහරණයක් වටපිටාව දිහා තීක්ෂණව බලා සමහර ප්‍රශ්නවලට උත්තර හොයාගන්න (සමහරු මේ ක්‍රමේ දැනටම දන්නවා ඇති, මේ කියලා දුන්නේ නොදන්න අයට ).
මං කියලා දෙන්නම් උත්තරයක් ලියවෙන්න ඕන විදිය. හරි අපි මෙහෙම බලමුකො.
ගුවන්විදුලිය කියන්නේ ඕනෑම ප්‍රජාවක් වෙත පහසුවෙන් සහ ඉක්මනින් ලඟාවිය හැකි මෙන්ම සාර්ථකව ඔවුන් වෙත සන්නිවේදනය කළ හැකි මාධ්‍යයකි (ඔහොම ලියලා මදි දැන් ඒක විස්තර කරන්න ඕන. ඒ මෙහෙම ). ලෝකයේ පවතින සංහතික මාධ්‍යයන්ට සාපේක්ෂව ගැනීමේ දී ගුවන්විදුලි මාධ්‍ය සතුව පුළුල් ප්‍රජා ආමන්ත්‍රණ ශක්‍යතාව පවතී. රූපවාහිනිය සහ පුවත්පත් මාධ්‍ය හා සැසඳීමේදී සාක්ෂරතාවයේ සහ කාර්මික ඥානයක අවශ්‍යතාව නොවීම මත ගුවන් විදුලිය බහුතර ප්‍රජාව කරා එළඹේ (දැන් ටිකක් පැහැදිලියි නේ, තව දුරටත් ඕක විස්තර කරන්න ඕන ). ඔබට පුවත්පතක් මිළදී ගැනීමට දෛනිකව මුදලක් වැය කිරීමට සිදුවන අතර එය සෘජුවම අයකර ගනී. නමුත් ඊට සාපේක්ශව ගුවන් විදුලිය සහ රූපවාහිනිය වෙත අපෙන් අය වන්නේ එක්තරා ආකාරයක වක්‍ර අය වීමකි. එහිදී ද රූපවාහිනියක් සඳහා වෙන් කරනු ලබන මූලික ගෙවීමේ සිට අනෙකුත් වියදම සමග සැසඳීමේදී ගුවන් විදුලිය අතිශය ලාභදායී තොරතුරු දැනගැනීමේ මාධ්‍යකි (තුලනාත්මකව ඒ විදියට ඔයාගේ මතය ඔප්පු කරගන්න ඕන ). තවද සංකීර්ණ අවශ්‍යතා සමග තරගකාරී ගමනක දිව යන මිනිසාට තොරතුරු ලබා ගැනීම සඳහා වෙනම ම කාලයක් වෙන් කිරීම අපහසුය. එයට දිය හැකි සාර්ථකම පිළිතුර වන්නේද ගුවන්විදුලියයි. ඔබ පුවත්පතක් කියවිය යුතුය; රූපවාහිනිය නම් නැරඹිය යුතුය, ඒ සඳහා වෙනම කාලයක් වෙන් කළ යුතුය. නමුත් ගුවන් විදුලිය කිසිවකු අසන්නේ නැත. එය ඇසෙනවා පමණි. වෙනත් කාර්යයක නිරතවෙමින් හෝ ගුවන්විදුලිය සමග සම්බන්ධ වීමට හැක. එය සංකීර්ණ ලෝකයක අතිශය වැදගත් වේ ඒ අනුව අද්‍යතන සංහතික මාධ්‍යයන් අතුරින් ගුවන්විදුලි මාධ්‍ය විශේෂීවන්නේය (කියලා ඔන්න හමාර පදය තියන්න පුලුවන්, දැන් කොහොම බැලුවත් ඒ උත්තරේ ඇතුලෙ ඔයා ඔප්පු කළා ගුවන් විදුලිය වාව් මාරයි, පට්ටයි කියලා).
ඔන්න ඔහොම තමයි එහෙම ප්‍රශ්නෙක ඔයාගේ උත්තරේ පෙළ ගස්වන්නේ. දැන් තව ශක්‍යතාවක් අරන් ඒ විදියටම ලියාගෙන යන්න. ඒ සෙට් එක ඉවර උනාම සීමාවන් ගැන කතා කරන්න. පැවරුම් කියන්නේ හරි රසවත් දෙයක්. විෂයට කැමති වෙන තරමට ඊළඟ කෑල්ල තව තවත් රසවත්.
හැබැයි පුතේ මේන්න මේකත් මතක තියා ගන්න. පැවරුමක් ආවම රත් වෙලා පුස්තකාලෙ පොත් ඔක්කොම පෙරලලා ඔලුව විකාර කරගන්නවට වඩා හොඳයි පෙර සූදානමකින් ඉන්න එක. ඒක හරිම ලේසියි. ඔය දීලා තියන ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියෙන් සතියට දෙක ගානෙ අරං ඇවිල්ලා හෙමීට කියවගන්න (කැම්පස් පටන් ගත්තට පස්සේ). හැමෝගෙම උත්තර එක වගේ උනාම අදාළ දේශකවරයට ඕක කියවන්නත් කම්මැලි හිතෙනවා. ඒ නිසා අමතර වෙනස් කරුණක් හැම වෙලාවෙම එකතු කරන්න උත්සහ කරන්න. (ඒකට ඉතිං පුස්තකාලෙ පොත් කියවලා විතරක් මදි).
ඔබ කරන්නේ ජන මාධ්‍ය විෂයන් නම්, මතක තබා ගන්න ඔබ නිරන්තරව අප්ඩේට් වෙන්න ඕන. අද දවසේ මේ වෙද්දි කොරෝනා රොගීන් ගණන කීයද ඇහුවොත් ආසන්න වශයෙන් මේන්න මෙච්චරයි කියන්නවත් ඔයාට පුලුවන් වෙන්න ඕන. අපෙන් ඒ දවස් වල කුමේෂ් මිස් අහනවා උදේ පාන්දරම ඊයේ නිව්ස් වල ගිය අලුත්ම නිව්ස් එක මොකක්ද කියලා. කියාගන්න බැරි වුණාම සෑහෙන්න නොන්ඩිත් වෙනවා. (ඔහොම ප්‍රැක්ටිස් කරන්න කාලයක් අපිට තිබ්බෙ නෑ හාන්දුරුවනේ).
අන්තිමට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගෙ වචනෙකින්ම සමුදෙන්නම්.
“වැඩසටහනක් ආවම ඒකට සූදානම් වෙන්න එපා. වැඩසටහනට කලින් ඔබ ඊට සූදානම් වෙලා ඉන්න” (ඒ කියන්නේ හෝම් වර්ක් කරලා තියාගන්න කියන එක).සුබ දඩයම්!
සුභ දවසක්..!
සටහන : සිතාරා සෙව්වන්දි
ආදි විද්‍යාර්ථ ( 17 කණ්ඩායම)
ආදි විද්‍යාර්ථ ( 17 කණ්ඩායම)
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය
Comments
Post a Comment