ලංකාවට වෑර්ලස් එක ආව හැටි

ඊයෙ කතන්දරේ ඉවර කළේ 1920 දශකය වෙනකල් වෑර්ලස් එක ආවේ කොහොමද කියලා. අද කියන්න යන්නේ ලංකාවට කොහොමද වෑර්ලස් එක ආවෙ කියලා. එහෙනම් එකත්පස්ව සාවධානව අහන් ඉන්න ඕන. මේ ලංකා වෑර්ලස් ජාතකයයි.
යුරෝපයේ පළමු ලෝක යුද්ධයත් එක්ක ගුවන්විදුලිය ගැන නොසෑහෙන්න කතා කරන්න පටන් ගත්තා. මාර්කෝනි මහත්තයා ගේ මේ නිෂ්පාදනය කොතරම් වැදගත් ද කියලා ලෝක ප්‍රජාවට තේරුම් යන්න පටන් අරං. ලංකාවට ගුවන්විදුලිය ලැබෙන්නේ ඔන්න ඔහොම පසුබිමක. ලේසි නෑ මිත්‍රවරුණි. ලෝකයේ ප්‍රථම ගුවන්විදුලි සන්නිවේදකයන් වූ BBCයට පස්සේ අවුරුදු දෙකක් ඇතුළත ලංකාවේ ගුවන්විදුලි ක්‍රමය ආරම්භවෙනවා පොදුජන සන්නිවේදකයෙක් විදියට. 
යුරෝපයෙන් ආදරෙට අපිට ගුවන්විදුලිය දුන්නමත් නෙවෙයි. හැබැයි එවකට යුරෝපයේ සීග්‍රයෙන් මෙම සන්නිවේදන මෙවලම ව්‍යාප්ත වෙමින් තිබුනා. යටත් විජිතවල සේවය කරන සහ රැඳී සිටින යුරෝපා ජාතිකයන් වෙනුවෙන් තමයි යටත් විජිතවලට ගුවන් විදුලිය හඳුන්වා දෙන්න තීරණය කළේ. ඒ අනුව යුරෝපා යටත් විජිතයක ආරම්භ කළ ප්‍රථම ගුවන් විදුලිය බවට පත්වෙන්නේ ලංකා ගුවන්විදුලිය.
එවකට ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වූ එඩ්වඩ් හාපර් මහත්තාගේ සංකල්පයකට අනුව තමයි ලංකාවේ ගුවන්විදුලිය අත්හදා බලන්නේ. 1 වෙනි ලෝක යුද්දෙ වෙලාවෙ අතරමං වුණ සබ්මැරීනෙකින් ගලවගත්ත කිලෝවොට් 1/4 ට්‍රාන්ස්මීටරයක් පොඩි කාමරේක හයිකරගෙන තමා වැඩේ පටන් ගත්තේ. මේක තමයි ලංකාවේ පළමු ගුවන්විදුලි විකාශනාගාරය වුණේ. ග්‍රැමෆෝන් තැටියක සිංදු සෙට් එකක් මයික්‍රෆෝනයක් හරහා අර ට්‍රාන්ස්මීටරේ ආධාරයෙන් ඒ ඇසෙන සීමාවට ගුවන්ගත කළා (මොනවද දන්නේ නෑනේ දාපු සිංදු සෙට් එක ).
වැඩේ සාර්ථකයි. හාපර් මහත්තයටත් මාර සතුටුයි. ඊට පස්සේ විදේශීය සහ ස්වදේශීය නිළධාරීන් තනි තනියම පුලු පුලුවන් විදියට මේ ගැන පර්යේෂණ කරන්න ගත්තා. ඒක පුද්ගල කලර්ස් පෙන්වීම පැත්තකට දාලා 1922 නොවැම්බර් 24 වෙනිදා මේ කට්ටිය එකතුවෙලා  ආධුනික ගුවන්විදුලි සමාජයපිහිටුවා ගන්නවා. 1924 පෙබරවාරියේ එක් සන්ධ්‍යාවක තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ දේවමෙහෙයෙන් පස්සේ පැවැත්වුනු බටහිර සංගීත සංදර්ශනයක් අතිශය සාර්ථකව ගුවන්ගත කරන්නට මේ ආධුනික ගුවන්විදුලි සමාජයට හැකිවෙනවා.
මේ සාර්ථකත්වයත් එක්ක හාපර් මහත්තයයි ගෝලයො රොත්තයි එවකට ලංකා රජයෙන් (යටත් විජිත ආණ්ඩුවෙන්) ඉල්ලීමක් කරනවා ලංකා ගුවන්විදුලියක අවශ්‍යතාවය ගැන කියලා. අද එදා කියලා වෙනසක් නෑ හිතවතුණි මොන දේ කරන්නත් කමිටු දාන එක අනාදිමත් කාලයක සිට පැවත එන පිළිවෙතක්. ඉතින් එවකට සිටි තැපැල්පතිවරයා වූ එම්. එස්. ශ්‍රේෂ්ඨා මහත්තයා ප්‍රමුඛ කමිටුවක් පත්කළා මේ ගැන හොයලා බලන්න. එයාලගේ ප්‍රශ්න වුණේ මෙන්න මේවා
  • ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ කළ යුතුද?
  • මේ සඳහා මුල පිරිය යුත්තේ රාජ්‍ය අංශයද නැතිනම් පෞද්ගලික අංශයද?
  • පෞද්ගලික අංශය විසින් ආරම්භ කරන්නේ නම් රජය ඊට බලපත්‍ර කීයක් නිකුත් කරනවාද?
  • ගුවන්විදුලිය පාලනය කරන්නේ කවුද?
ශ්‍රේෂ්ඨා මහත්තයගෙ කමිටු වාර්තාව ප්‍රධාන ශීර්ෂ තුනක් යටතේ ඉදිරි පත් වුණා.
  • ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ කළ යුතු අතර ඊට වාර්ෂිකව රජයෙන් කිසියම් පිරිවැයක් දැරිය යුතුය.
  • රජය මුල් වී මෙම කටයුත්ත සිදුකළ යුතු අතර රජයේ නිළ නිවේදන, වේලාව දැක්වීම සහ ප්‍රවෘත්ති ප්‍රකාශය කළ යුතුය.
  • තැපැල්පතිවරයා ප්‍රමුඛ කමිටුවක් මගින් මෙය පාලනය කළ යුතු අතර ඊට පොලිස්පතිවරයා, පුවත්පත් සංගමය, වෙළඳ සංගමය, විදුලි ඉංජිනේරු සංගමය සහ ආධුනික ගුවන්විදුලි සංගමය නියෝජනය කරමින් නියෝජිතයා බැගින් සිටිය යුතුය 
(බලන්න කොච්චර විද්‍යාත්මක පත් කිරීමක් ද නේ? )
ඉතිං හාපර් මහත්තයා 1924-1925 අයවැයෙන් ගුවන්විදුලියට වෙන් කළ රුපියල් 9000ක මුදලත් අරන් (බිංදු අඩුවෙලා කියලද හිතුවේ. නෑ නෑ ඒ කාලෙ හැටියට ඒක ලොකු ගාණක්) එංගලන්තයට ගියා. කිලෝවොට් කාලෙ ට්‍රාන්ස්මීටරේ වෙනුවට 1kW ට්‍රාන්ස්මීටරයක් සහ අනෙකුත් ආම්පන්නත් අරං ඇවිල්ලා 1925 දි කොළඹ වැලිකඩ ප්‍රදේශයේ නව ගුවන්විදුලි විකාශනාගාරයක් පිහිටුවනවා. හරියටම කිව්වොත් 1925 දෙසැම්බර් 16 තමයි ඕපනින් එක තිබුණේ.
ලංකාවේ ගුවන්විදුලියේ ආරම්භය ගැන ටිකක් විතර අභියෝගාත්මක මත ඉදිරිපත්වෙනවා. මුලින්ම විකාශනය ආරම්භ කළේ කවද්ද කියලා ඇහුවම 1924 ජුනි 27 කියලා කියනවා කොළඹින් කතා කරයි කියන ග්‍රන්තයේ. 66 වසරක ගුවන් විදුලි ඉතිහාසය කියන පර්යේෂණාත්මක ලිපි සංග්‍රහය කියන්නේ අර නව විකාශනාගාරේ පිහිටෙව්වේ, අර වැලිකඩ එක. ඔව් ඔව් ආන්න ඒ දවස, ඒ කියන්නේ 1925 දෙසැම්බර් 16 තමා දවස කියලා. කොහොම උනත් මේ දවස් දෙකම ලංකා ගුවන්විදුලි ඉතිහාසයට වැදගත්.
මුල් කාලයේ සතියට දෙවරක් තමයි විකාශනය සිද්ධ වුණේ. ඒ බ්‍රහස්පතින්දා සහ ඉරිදාට. 1925 අවුරුද්ද ඉවර වෙද්දි බලපත්‍ර 57ක් අලෙවි වෙලා තිබුණා. හරියට නිකන් ඒ කාලෙ වයිරල් වෙච්ච දෙයක් වුණා. 1926 කොළඹ යුනිවර්සිටි කොලීජිය නව ගුවන්විදුලි ප්‍රසංග මැදිරියක් ආරම්භ කළා. 1927 වෙද්දි කොළඹ ටොරිංටන් භූමියේ පරණ මානසික රෝහලට ලංකා ගුවන්විදුලිය විකාශනාගාරේ මාරුවක් දාගන්නවා.
ඒ කාලේ අපි විතරක් නෙවෙයි දකුණු ඉන්දීය ශ්‍රාවක ප්‍රජාවකුත් ලංකා ගුවන්විදුලිය ශ්‍රවණය කරන්න ගන්නවා. ඕන්න ඒ නිසා ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් අර ආධුනික ගුවන්විදුලි සංගමය තමන්ගේ නම වෙනස් කරගන්නවා ලංකා - දකුණු ඉන්දීය ගුවන්විදුලි සමාජය කියලා. ඊට පස්සේ ඉන්දියාවටත් ගැළපෙන්න විකාශනය කරන්න ගන්නවා.
ඔය හතර පෝයට බණ වැඩසටහන් රේඩියෝවෙ යන්නේ අලුත් කන්සෙප්ට් එකකට නම් නෙවෙයි. 1928 දි පැලෑනේ වජිරඥාන හාමුදුරුවො ගුවන් විදුලිය හරහා ප්‍රථම බණවරය දේශනා කරනවා. ඊට පස්සේ හතර පෝයටම රේඩියෝවෙ බණ යන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ස්වදේශිකයන් අතරේ රේඩියෝව ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ. ගෙදර ඉඳන් බණ අහන්න පුලුවන් නිසා ඇති හැකි හැමෝම පුලුපුලුවන් විදියට වෑර්ලස් මිළදී ගන්නවා. ඔන්න ඔහොමයි ලංකාවේ අපිට ගුවන්විදුලිය ලැබුණේ. එතනින් එහාට මොකද වුණේ කියලා හෙට කියලා දෙන්නම්. එතකල් ඔබට සුබ දඩයම්.
සටහන : සිතාරා සෙව්වන්දි 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 
ආදි ජේෂ්ඨ (17 කණ්ඩායම )
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

මෙම ලිපියේ පලවෙනි කොටස 




Comments