I.D - මොහාන් රාජ් මඩවල


මොහාන් රාජ් මඩවලගෙ අලුත්ම නවකතාව ID නමින් 2020 වසරේ පාඨකයින් අතට පත්විය. පරිකල්පනීයමය ඉතිහාස ප්‍රබන්ධ රචකයෙකු මෙන්ම සම්ප්‍රධායික නවකතා රචනයෙන් ඔබ්බට ගිය නවකතාකරුවෙකු වශයෙන් මොහාන් රාජ් මඩවලයන් අපට හඳුනාගත හැක. ඔහුගේ රැජිණ, මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා, Colombo වැනි නවකතාවන්ට සාපේක්ෂව ID යනු වෙනමම ශෛලියකින් රචිත නවකතාවක් වශයෙන් හඳුනාගත හැකිය.


මෙම නවකතාව කියවන අතර තුර "කොලරා කාලේ ආලේ" (Love of the times of colera) සිහි ගැන්වීමක් නිතැතින්ම සිදු වූවේ එහි එන යම් යම් සිද්ධීන්ට සමාන සිද්ධීන් මාලාවක් මෙම නවකතාවේ ගැබ්වී තිබෙන ලෙස හැගීම නිසා විය හැකිය.


පුද්ගලයින්ගේ අවිඥානික මනස පුබුදුවමින් එය පාඨක සමාජයට ඉදිරිපත් කිරීමේ ශෛලයක් මොහාන් රාජ් මඩවලයන්ගේ නවකතා ශෛලියේ එක් අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය වශයෙන් හඳුනාගන්නා " සම්පත් සූරියබන්ඩාර" නැමැත්තා වටා සිටින සමීපතයින් වටා ඔවුන්ගේ සවිඥානික මෙන්ම අවිඥානික මනස පුබුදුවාලමින් නවකතාව ඉදිරියට ගලා යනු ලබයි.


ඔහු විවිධ ස්ථාන තුළදී විවිධාකාරයේ චරිත නිරූපනය කිරීමෙන් කතාව තුළ කුතුහලය වැඩි  දියුණු වී තිබෙන ආකාරයක් පවතියි. විශේෂයෙන්ම නවකතාව ආරම්භයේ සිට අවසානය වන තෙක් කියවීමෙන් තොර නවකතාව කියවා අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැත.


ස්ත්‍රී මූලික සමාජයක් තුළ සාමාන්‍ය වශයෙන් ස්ත්‍රියට සිදු වන අසාධාරණ පිළිබඳව සැවොම කතා බහ කරයි. කාන්තාවන්ගේ මනෝභාවයත් ඒ තුළ සිටින ඇයගේ ජීවිතයේ අනුකපාසහගත බවත් සියල්ලෝම කතා වන නමුත් ID හරහා යම්තාක්  දුරට පුරුෂයා වෙනුවෙන් යම් සමාජ අවධානයක් ලක් කිරීමට උත්සහ කර තිබෙන බව කිව හැකිය.


පද්මිණී, කුමාරි, දිලිනි, නදී, හංසි වැනි කාන්තාවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නවකතාවේ කතා නායක වන සම්පත් භාවිතා වී ඇත. එසේම පිරිමි පාර්ශවයේ පමණක් ලොවට නිරන්තරයෙන්ම හෙළි වන අවිඥානික ක්‍රියාකාරකම් (id) මෙහිදී කාන්තා පාර්ශවය අලලා ගොනු කර තිබේ.


පන්සලේ නායක ස්වාමීන්වහන්සේගේත්, පොලිස්පතිතුමාගේත් අවිඥානය ක්‍රියාත්මක වන ආකාරය ඇතැම් අවස්ථාවන් තුළදී උපහාසාත්මකව ඉදිරිපත් කර තිබේ.


අන් සෑම නවකතාවක් තුළදී මෙන්ම මඩවලයන්ගේ මෙම නවකතාව තුළද අතිශයෝක්තියක් දැකිය හැකි වන අතර ඇතැම් අවස්ථාවන් තුළ දී එය අතිශයෝක්තියත් අභිබවා ගොස් තිබේ. 


කුඩා අවධියේ ඉපදීමේ සිට මරණය දක්වා මෙහි කතා නායකගේ චරිතයේ වර්ධනය යම් මනෝවිද්‍යාත්මක පැතිකඩක් ඔස්සේත් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම ලිංග රූප අවධිය, ගුප්ත අවධිය සහ වැඩිහිටි අවධිය ප්‍රායෝගිකව පසු කරන ආකාරයේ ගලායෑමක් මෙම නවකතාව තුළ දැකිය හැකිය.


මෙහි අවිද්‍යාත්මක එනම් හොල්මන් වැනි සංකල්ප වෙනුවෙන් ද යම් ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙන අතර පාඨකයා නවකතාව ආරම්භ කිරීමට පෙර මෙය ඉන්ද්‍රජාලික ලෝකයක් තුළ තිබෙන ෆැන්ටසියක් බව දක්වමින් එම ෆැන්ටසිය තුළ ජීවත් වීමට පාඨකයාට ආරාධනා කරනු ලබයි.


සමස්තයක් වශයෙන් ගත් විට එක හුස්මට කියවිය හැකි රසවින්දනයක් සහිත යථාර්ථයෙන් මෙහා පවතින නවකතාවක් ලෙස සැලකිය හැකිය. කොළරා කාලේ ආලේ නවකතාව කියවා ඇති පාඨකයෙකුට එහි යම් යම් ආභාෂයන් මෙම නවකතාව තුළ තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් මතු විය හැක.


©උදේනි පෙරේරා 

Comments

Post a Comment