Electric news gethering | 3rd year | 1st Semester

ඉස්සෙල්ලම ආවෙ කිකිළි ද? නැත්තන් බිත්තරේ ද?'
මේක ගොඩක් දෙනෙකුට තියෙන දැවෙන ප්‍රශ්නයක්...

ඒත් මේ වගේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක ඔය වගේ උභතෝකෝටික ප්‍රශ්න විසඳන්න ගිහින් කාලෙ නාස්ති කරගන්නැතුව, අපිට අදාළ ප්‍රශ්නයක් ගැන හිතලා පොඩි මනෝ පාරක් දාමු ද?

දැන් හිතන්න නිකමට  හරි අනාගතේ දවසක ඔයා පුවත්පත් ආයතනයක ජනමාධ්‍යවේදියෙක් වෙනවා... ඔයාට ඔයාගෙ එඩිටර් ප්‍රවෘත්තියක් කවර් කරන්න කිව්වොත්??  දැන් මොකද කරන්නෙ?

මට ඔය දේ වුණා නම් මට එක එක දේවල් හිතෙනවා.. ඒවා හරියට මේ වගේ

1. මම දැන් මේ තොරතුරු ගන්න ඕනෙ කාගෙන් ද?
2. එහෙම තොරතුරු හොයාගන්නෙ කොයි විදිහට ද?
3. මම මේ ප්‍රවෘත්තිය කියවන අයට ඉදිරිපත් කරන්නෙ මොන විදියට ද?
4. මේ ප්‍රවෘත්තිය කියවන අය ඒක මොන විදියට අවබෝධ කරගනී ද? 

පුවත්පතකට,එහෙමත් නැත්තන් කටවහරෙ හැටියට පත්තරේකට මොනයම් හරි ප්‍රවෘත්තියක් වාර්තා කරනකොට මේ දේවල් ගැන අනිවාර්‍යයෙන් අවධානය යොමු කරන්න වෙනවා. මොකද පුවතක් වාර්තා කරනකොට මේ ගැටලු වලට සොයාගන්න පිළිතුරු මත තමා මාධ්‍යවේදියා වාර්තා කරන ප්‍රවෘත්තියේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ.

පුවත්පත් වෙනුවෙන් මාධ්‍යවේදීන් කරන වාර්තාකරණය වෙනස් ම ආරක එකක්. ඒ වගේම විශේෂිත වූ එකක්. අපි කවුරුත් දන්නවා වගේ පුවත්පත් එහෙම නැත්තන් මුද්‍රිත මාධ්‍ය කියන්නේ විද්‍යුත් මාධ්‍යට වගේම නව මාධ්‍යට සාපේක්ෂව තරමක් මන්දගාමී මාධ්‍යයක්. ඒ මාධ්‍ය ප්‍රවර්ග දෙකේම දකින්න ලැබෙන විදියේ 'එසැණ වාර්තාකරණයක්' අපිට පුවත්පත් මාධ්‍ය තුළින් දැකගන්න අමාරුයි. නිකමට හිතලා බලන්න, අද උදේ සිදු වුණ දෙයක් දවල් ප්‍රවෘත්ති විකාශ වලින් විද්‍යුත් මාධ්‍ය වලින් වාර්තා කළාට ඒ ප්‍රවෘත්තිය ම පත්තරේ පළ වෙන්නෙ ඊට පහුවදා..  නැත්තන් ඊටත් ටිකක් පහු වෙලා.. ඒ නිසා පත්තර වල පළ වෙන ප්‍රවෘත්ති ටිකක් පිළුණුයි කියලා පාඨක ප්‍රජාවගේ පොඩි චෝදනාවකුත් තියනවා..

ඒකට කරන්න දෙයක් නෑ.. මොකද ඒක මුද්‍රිත මාධ්‍යයේ ස්වභාවය. ටිකක් අවාසියි වගේ පෙණුනට ප්‍රවෘත්ති වාර්තාකරණයේ දි නම් ඒක තරමක වාසියක්. මොකද අනික් මාධ්‍යවේදීන්ට වඩා ප්‍රවෘත්තියට අදාළ තොරතුරු රැස් කරගන්න, විමසුම් කරන්න, පෙළගස්වගන්න,සිද්ධි අධ්‍යයනය කරන්න අමතර කාලයක් පුවත්පත් මාධ්‍යවේදීන්ට ලැබෙනවා. ඒ නිසාම අනික් මාධ්‍යයන්ට සාපේක්ෂව සවිස්තරාත්මක වගෙම වාස්තවිකත්වයෙන් ඉහළ ප්‍රවෘත්ති වාර්තා කරන්න මුද්‍රිත මාධ්‍යයට පුළුවන්.
ඒකෙන් පුවත්පත් වල පළ කරන ප්‍රවෘත්ති වල තියෙන විශ්වසනීයත්වයත්, ගුණාත්මක බවත් වැඩි කරනවා.

ගුණාත්මක බව ගැන සඳහන් කරනකොට 'අන්තර්ගතය' කියන දේ ගැන නිරායාසයෙන් ම අපේ අවධානය යොමු වෙනවා.. ඒ ගැන අපි වෙනම ම ලිපියකින් හොයලා බලමු.

එතකන් ඔය අහන දකින හැම ප්‍රවෘත්තියක් ම පත්තරේට ලියන්න වුණොත් ඔයා ඒක කරන්නෙ කොහොමද කියලා මනෝ පාරක් දාගෙන පරිස්සමින් ඉන්න.

සටහන:  සඳලි පෙරේරා
ආදි විද්‍යාර්ත
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය

Comments