නිර්මාණකරණය හා චින්තනය | Creative Communication | 2nd year

  අප මෙම වචන ද්විත්වයෙන් ප්‍රථමයෙන් හර වචනය ලෙස යොදාගන්නේ කුමක් ද? සැබැවින්ම එයට නිශ්චිත නියමයක් නොමැත. එනම් අතැමෙකු නිර්මාණකරණය තුළින් චින්තනය වර්ධනය වේ යැයි කිව හැකිය. ඒ අතරම තවකෙකුට චින්තනය තුළින් නිර්මාණකරණය බිහිවේ යැයි කිව හැකිය.
   කෙසේවෙතත් ප්‍රධාන වශයෙන් නිර්මාණකරණය පිළිබඳ ප්‍රධාන මත 2ක් හමුවේ. එය සවිඥාණික සචේතනික ක්‍රියාදාමයක් වන බවත්, අවිඥාණික අචේතනික ක්‍රියාදාමයක් වන බවත්ය.
   19 වන සියවසයේ දී ඊට අභියෝගයක් එල්ල කරමින් සවිඥාණිකත්වයට යටින් තිබෙන අවිඥාණිකත්වයක් ඇති බව විද්‍යානුකූලව ඉදිරිපත් කළ පුද්ගලයා වූයේ සිග්මන් ප්‍රොයිඞ්ය. මානව මනස නිර්මාණයක් උදෙසා සෑදී ඇත්තේ කෙසේ ද? නිර්මාණයක් සඳහා වැඩි වශයෙන් ඉහත ද්ිත්වයෙන් අවශ්‍ය වන්නේ කුමක් ද? සවිඥාණිකත්වය පිළිබඳ අදහස් දැක්වූ පුද්ගලයන් අතර ඇරිස්ටෝටල්ගේ භූමිකාව කැපී පෙනේ. ඒ අනුව මිනිසා යමක් නිර්මාණය කරනුයේ විඥාණයකින් යුතුවය. ඔහුගේ දැනුම සොයා යාමේ ප්‍රථිපලයක් ලෙස යමක් කිරීමට පෙළඹෙන බවට එය කරනුයේ කුමක් උදෙසා ද සහ ඔය කළේ ඇයි යන ගැටලුවට පිළිතුරු දීම සචේතනික චින්තනයේදී පහසු ය.
   නමුත් මනස පිළිබඳ ඉතා ගැඹුරු විග්‍රහයක යෙදුණු ප්‍රෙියිඞ්ට අනුව මනස නිතරම අප ක්‍රියාකරන සිතන ආකාරය පිළිබඳ දැනුවත්ව සිටින්නේ නැත. අපගේ ක්‍රියාවන් සෑම විටම පාලනයට නතු කරගැනීමට නොහැකි අතර ඊට තර්කානුකූලව හෝ පිළිතුරු දීමට හෝ නොහැකි වෙ. ඒ අනුව මානවයා යනු නිතරම බුද්ධිය හා තර්කය මත කටයුතු කරන කොටසක් නොව. හැඟීම් දැනීම් වලට ආකර්ශණයට අවිචාරවත්ව හෝ අතාර්කික දේ විදහා පෑමට වඩා සමීපව කටයුතු කරනු ලවයි. මනසින් එලෙස කරනු ලබන ක්‍රියාවලියට අවිඥාණිකත්වය යැයි කියනු ලැබේ. කලා නිර්මාණයක් වුවද බිහිවන්නේ මනසේ මෙසේ ඇතිවන අවිඥාණික ආශාවන් ඉෂ්ඨ කරගැනීමේ ප්‍රථිඵලයක් ලෙසිනි. ප්‍රොයිඞ්ට අනුව පුද්ගලයෙක් ළදරු වියේ සිටම අවිඥාණය වෙත තල්ලු කරනු ලබන යම් දේ නිතර නිතර පුද්ගලයාගේ මනසට එසේත නැත්නම් චර්යාවට බලපෑම් කරනු ලබයි. ඔහු මනසේ ව්‍යුහය ආකාර 3ට වෙන්කර එහි ක්‍රියාකාරිත්වය අනුව මානවයා යමක් නිර්මාණය කරන ආකාරය පැහැදිලි කළේය.
1. සවිඥාණය                                                      
 2. උප විඥාණය                                                  
   3. අවිඥාණය

 නිර්මාණය කී පමණින් කෙනෙකුගේ සිහියට නැගෙන්නේ ගද්‍ය, පද්‍ය, චිත්‍ර, රංග කලා, නර්තන, හා ජනමාධ්‍ය ව්‍යුහයන්ට අන්තර්ගත වන කවි කතා නැටුම් ගැයුම් වැනි අංගයන්ය. සාහිත්‍යාංග නිර්මාණ අපූර්ව වස්තු ලෙස සැලකීමට හැකි වුවද ඊට පසුබිම් වන්නේ කවරාකාර චින්තනයක් ද? අපූර්ව වස්තු නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ මිනිසාට පමණක් නොවේ. මිනිසා තරම් සිතන්නට නොහැකි වූ සත්වයන්ට ද යම් යම් වූ අපූර්ව වස්තු මැවීමේ ශක්තියක් ඇති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ගෙන් ද දක්නට ලැබේ. වේයන්ගේ සිට කුහුඹුවන් විශාල අපූර්ව ගොඩනැගිලි වැනි හුඹස් තනා ඇති බව දකින මිනිසා විස්මයට පත් වේ. ඇතැම් කුරුලු විශේෂ විසින් තනන ලද කූඩු දෙස බලන කල ද උන් තුල පුදුමාකාර නිර්මාණාත්මක හැකියාවන් ඇති බව දිස්වේ. මේ සඳහා සත්ව විශේෂයන්ට පුදුමාකාර පුදුමාකාර නිර්මාණාත්මක හැකියාවන් ජනිත වී ඇත්තේ කෙසේද යන්න කොතෙකුත් සොයා බලා ඇත. එහෙත් මිනිසාට තරම් ඒ එකදු සත්වයෙකුටවත් නිර්මාණාත්මක චින්තනයක් ඇතැයි සිතිය නොහැකියි. පුදුමය නම් මකුළුවකු මෙන් දැලක් ස්වභාවික ලෙස මිනිසා නොවියන නමුත් ඒ දෙස බලා සිට ඊට සමාන දැලක් විවීමට හැකියාව ලැබී ඇත. අපට මිනිසා හෙවත් මානව වර්ගයා විශේෂ කොටගෙන ඔවුන්ගේ නිර්මාණාත්මක චින්තනය පිළිබඳ සෙවීමට සිදුව ඇත්තේ ය. 


   මේ ප්‍රවණතාවය මිනිසාට ආදිකාලයේ සිටම සිදුවූවකි. ගෝත්‍රිකව සිටි අවධියේ පටන්ම කෙමෙන් පරිණාමයට පත් වූවකි. මානව සමූහයාගේ පැවැත්ම රුඳී ඇත්තේ නිර්මාණාත්මක චින්තනය හේතු කොටගෙන ය. මානව සමූහයාගේ ආත්ම ආරක්ෂාව මෙන් පැවැත්මේ සෑම අංගයක්ම රුඳී පවතින්නේ නිර්මාණාත්මක චින්තනයේ තොර වූ මිනිස් පැවැත්මක් නොමැතැයි නිගමනය කළ හැකිය. මානව පැවැත්මේ නිර්මාණාත්මක චින්තනයේ උත්තරීතර ප්‍රවණතාවය ලෙස සැලකෙන්නේ සංඥා හා සංකේත සොයා ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ප්‍රභේද වලට අතු ඉති විහිදී ගිය භාෂාත්මක පිළිබඳ සෙවූ මූලාරම්භක අවස්ථාව 2006 ජුනි 9 වෙනිදා ඇරඹිණි. ඒ නම් අන්තර්ජාතික ආදිවාසි ලෝක දිනය නමින් හැඳින්වූ දිනයේ දීය. මෙදින එක්සත් ජාතීන්ගේ සමුළුවක් මගින් ලෝකය අමතා ප්‍රකාශ කරන ලද්දේ කෙමෙන් අභාවයට පත් භාෂා පිළිබඳ සෙවිල්ලේන් මුළු භාෂා සීමාව ඉක්මවූ ජන සංස්කෘතියට අදාළ නිර්මාණාත්මක චින්තනයට මුලපිරෙන බවයි.
   බොහෝ රටවල් කෙමෙන් නූතන සංවර්ධන රුල්ලකට තාක්ෂණික වශයෙන් හසු වී ඇතත් එසේ හසු නොවූ මුල් පදිංචිකරුවන් සමූහයකින් අනූන බව මේ සෙවිල්ලෙන් දැන ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාව. ඕස්ටේ්‍රලියාව, මැලේසියාව, නවසීලන්තය වැනි රටවල පදිංචි වූ මුල්ම ජනවාසීන් පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයක් මෙතෙක් කෙරී ඇති බව ද තව ද පර්යේෂණ කළහැකි බව ද ඉන් පළ වේ. මෙතැනදී මේ ජනාවාසීන්ගේ නිර්මාණාත්මක චින්තනය පිළිබඳ පිළිබඳ සෙවිල්ලක් ද දිස් වේ. එය මානව විද්‍යාවේ දැක්වෙන ඇතැම් න්‍යායන් මුල් කොටගෙන සිදු කෙරෙන්නකි. ඒ කෙසේ ද යත් ඒ ජනවාසීන් සිතූ පැතු අයුරු ඔවුන්ගේ ජීවන රටා හා අන්‍ය ජන සමූහය කෙරෙහි බලපෑ අයුරු යනාදී සාධක තුළ රැඳුණු නිර්මාණාත්මකභාවය වැඩදායකබව ප්‍රකාශයට පත් කිරීමයි. කාලයාගේ ඇවෑමෙන් ඇතැම් ජන සමූහයගේ වටපිටාව මෙන්ම ජන චින්තනය ද වෙනස් වී ඇති නමුදු ඒ වෙනස හෙවත් පරිණාමය පිළිබඳ සෙවිල්ල අපතේ නොයන්නකි. ආදි වාසී ජන අධ්‍යයනයම පෙරළා නිර්මාණාත්මක චින්තනයක් ද වන බව අපට මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 
   මානව සමූහයා විසින් බාවිතයට ගන්නා ලද ආම්පන්න පමණක් නොව ඉඳුම් බිටුම් ඇඳුම් පැළඳුම් විවිධ හැඩතල හා භාවිත විධි ක්‍රම භෞතික මානව විද්‍යාත්මක සාධක සමුදායකයි. ඊට පසුබිම් වූ චින්තනයෙන් බිහි වූ නිර්මාණ සමුදාය සංස්කෘතික මානව විදයා අංග වශයෙන් සැලකේ. මේ ප්‍රභේද දෙකම වෙන් වෙන් වශයෙන් මෙන්ම ඒකාබද්ධ වශයෙනුදු අධ්‍යයනය කිරීමෙන් මානව සමූහයකගේ නිර්මාණාත්මක චින්තනයේ මහිමය හඳුනාගත යුතුය. නිර්මාණයක් පහළ වන්නේ කෙසේදැයි සිතීමට එය මගක් වේ. මානව සමූහයාගේ ප්‍රගතිය හෝ අගතිය පෙන්නුම් කරන්නේ ද ඔවුන් සතු නිර්මාණාත්මක චින්තනයේ ප්‍රථිඵලයක් වශයෙනි. 
    වඩාත් යහපත් ලෙස මේ මිහිපිට කලදවස ගත කිරීමටත් සිතුම් පැතුම් සන්සුන් ලෙස ඉටුකර ගැනමටත් නිර්මාණාත්මක චින්තනය ඉවහල් වේ. 
    වතාවක් මාක්ස්වාදී ආජන්ටියානු කලා විචාරකයෙකු වූ අර්න්ස් ෆිෂර් සඳහන් කළ පරිදි නිර්මාණාත්මක චින්තනය වූ කලී කලා කෘති බිහි බිහි කිරීමේ ආරම්භක අවශ්‍යතාවයකි. ඒ අවශ්‍යතාවය නොහැඳින කිසිදු කලා විචාරයක් හෝ කලා නිර්මාණයක් පිලිබඳ කතා බහ කළ නොහැක්කේය. මේ සියල්ල පසුබිම් කරගත් විට අපට පෙනී යන්නේ අපේ අධ්‍යාපනයට නිර්මාණාත්මක චින්තනය පදනම් විය යුතුය. ඔහු පවසන පරිදි සමාජයේ පවත්නා විවිධාකාර අර්බුද ජයගත හැක්කේ ද නිර්මාණාත්මක චින්තනය ඔස්සේය. එබැවින් දේශයක පැවැත්ම තීරණය කරන පදනම් චින්තනය මෙකී නිර්මාණාත්මක චින්තනය ඔස්සේයි. ආනල්ඞ් ටොින්බබි මහචාර්යවරයා වතාවක් පැවසූ පරිදි දේශපාලකයාට වඩා බුදධිමත් තලයක ජීවත් වන්නේ දේශපාලකයාට පන්නරය සලසා දෙන දේශපාලන චින්තකයාය. ඒ චින්තකයා තුළ පවතින්නේ නි්මාණාත්මක චින්තනයයි. ඔහු විටෙක නිරීක්ෂකයෙකි. තවත් විටෙක විවරණ දායකයෙකි. විටෙක අර්ථ නිරූපණයකි. මේ සියල්ල නිර්මාණාත්මක චින්තනයේ ප්‍රධාන සාධකයකි. පෑන අවියට වඩා බලසම්පන්නය යන කියමනට පදනම් වී ඇත්තේ ද මෙකී නිර්මාණාත්මක චින්තනයයි. හුදු ප්‍රායෝගික උපායශීලී දේශපාලකයෙකු ඉක්මවූ තලයක නිර්මාණාත්මක චින්තකයා වාසය කරන බවයි මින් කියැවෙන්නේ.
   මෙම නිර්මාණාත්මක චින්තනය යනු කෙනෙකු තුළ පවත්නා පරිකල්පන ශක්තියේ ප්‍රථිඵලයකි. යම් තැනැත්තෙකු හොඳ නිර්මාණාත්මක කෘතියක් බිහිකළ විට ඔහුට හොඳ පරිකල්පනයක් ඇතැයි සිතමු. අපූර්වත්වය, නව්‍යත්වය වැනි වචනවලින් කියැවෙන ගුණාංගයන්ගෙන් හැඳින්වෙන්නේ නිර්මාණාත්මක චින්තනයයි. මේ පිළිබඳ මනෝ විද්‍යාඥයන් ලබා ඇති ඥාණය සීමා සහිතය. මෑත කාලයේ මේ සම්බන්දයෙන්පරීක්ෂණ රාශියක් පවත්වා ඇතත් ඒවායින් වාස්තවික කරුණු හෙළි වී නැත. 
   නිර්මාණකරණ කාර්යයයෙහි ලක්ෂණ දෙකකි.
1. සියුම් පැහැදිලි අභ්‍යන්තර හැඟීමක්                                                  2. එම මූලික හැඟීම් කමවත්ව සකස් කිරීමේ ක්‍රියාවලිය

මෙම පරීක්ෂණ වලදී ලැබුණ කරුණ අනුව පෙනී ගියේ නිර්මාණාත්මක චින්තනය අවස්ථා කීපයකින් සමන්විත බවය.

       1. සූදානම් වීමේ අවස්ථාව                                                                                          2. බීජ වශයෙන් පවතින අවස්ථාව හෙවත් මේරීමේ අවස්ථාව                        3. ප්‍රකාශන අවස්ථාව                                            4, ෂත්‍යෙක්ෂණ අවස්ථාව
   සියලු නිර්මාණික කාර්යන්හිදීම එම අවස්ථා හතරම දැකිය හැකි වේ යැයි මින් අදහස් නොකෙරේ. සමහර විට ඇතැම් අවස්ථා නොමැතිව ද කෙනෙකුට නිර්මාණක චින්තනය ඇතිවිය හැකිය. එමෙන් ම මේ අවස්ථා මාරු වෙමින් ද පැවතිය හැකිය.

                                    ආශ්‍රිත ග්‍රන්ථ
1. අබේපාල, රෝලන්ඞ්.සිග්මන් ප්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණවාදය. 2011, සාර ප්‍රකාශන.
2. පතිරනගේ, දර්ශන මාපා. භාෂාව, නිර්මාණකරණය හා සන්නිවේදනය. 2013, රිෆ්ලෙක්ට්   විෂන් මීඩියා ඇකඩමිය.
3. වීරසූරිය, ගුණසිරි. නිර්මාණවාදය සහ ජීවයේ සම්භවය. 1997, ආරිය ප්‍රකාශකයෝ.                                      




                          

සටහන : උපේක්ශි ද සිල්වා
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.


                                                                                                 
                                                                                                                                                              



Comments

Post a Comment