කාටූන් කලාව | Print Media | 1st yeaar

කාටූන් කලාවේ ආරම්භය
ස්වභාවික ලෝකයේ පවතින දේ හාස්‍ය රසය ජනනය වන ආකාරයට විසුළු ස්වරෑපයකින් සරලව ඉදිරිපත් කිරීම කාටූන් නම් වේ. කාටූන් කලාවේ ආරම්භය මීට වසර 700 කට පමණ පෙර බිහි වූවක් ලෙස සැලකේ. මුල්ම කාටූන් ලක්ෂණ දක්නට ලැබූ ස්ථානය වන්නේ පොම්පෙයි නුවර බිතුසිතුවම් ය. 13 සියවසේ දී පල්ලි වල ගාර්ගොයිල්ස් නම් විකට ස්වරෑපයක් ගන්නා මූර්ති පෙළක් දක්නට ලැබේ. 1466 දී A.S. මාස්ටර් හෝඩියේ අක්ෂර වලට හාස්‍යජනක මුහුණුවරක් ලබා දී ඇත. 16 සියවසේ දී අනීබාල් හා අගොස්තිනෝ කැරිකේචර සිත්තම් නිර්මාණය කිරීම ආරම්භ කළහ. කැරිකේචර් යනු , character නම් වේ. විලියම් හෝගාට් කැරිකේචර සිත්තම් සම්ප්‍රධාය ඉදිරියට ගෙන ගියේ ය. කාටූන් චිත්‍ර කලාව ලොව පුරා ව්‍යාප්ත වූයේ බටහිර ජාතීන් ගෙනි. 1840 දී බිතාන්‍යන් විසින් චීනයට කාටූන් කලාව හදුන්වා දී ඇත. 1867 ජපානයේත් 19 වන සියවසේ ඇමෙරිකාවේත් කාටූන් කලාව ආරම්භ වී ඇත.

ලංකාවේ කාටූන් කලාව
ලංකාවේ කාටුනයෙන් රට කුල්මත් කළ පුද්ගලයෙක් ලෙස G.S ප්‍රනාන්දු හදුන්වා දිය හැක. ස්වදේශීය මිත්‍රයා පුවත්පතේ පළ වූ මුල්ම දේශපාලන කාටූනයේ හිමිකරැ මොහු ය. 1934 දී Times of Ceylon පුවත්පතට ද කාටූන් නිර්මාණය කළ අතර ලාංකික කාටූන් චිත්‍ර කලාවේ පියා ලෙස මොහු ඉතිහාස ගත වේ.
තරැණ පරම්පරාවේ කාටූන් නියෝජනය කරන ලද්දේ විනී හෙට්ටිගොඩ ය. ඔහු සාම්ප්‍රධායික කෝලම් වල මූලික ලක්ෂණ උපයෝගී කරගෙන තමාට ආවේණික ආකාරයෙන් කාටූන් නිර්මාණය කළේ ය. 1982 ඉරිදා දිවයින පුවත්පතට මෙන්ම ලක්දිව, ලක්බිම ආදී පුවත්පත් වලට කාටූන් නිර්මාණය කර ඇත. ඔහුගේ වට මේසය, හෝල්ට්, සකලජන, මාර පුත්‍රයා ආදී කාටූන් චරිත ජනතා ප්‍රසාදය දිනා ගත්තේ ය. 
නව ශෛලියක නිර්මාණකරැ ලෙස ශාන්ත කේ. හේරත් හදුන්වා දිය හැක. ඔහු දිවයින පුවත්පතට කාටූන් නිර්මාණය කර ඇත. 
කාටූන් රැසක හිමිකරැ ලෙස කැමිලස් පෙරේරා හදුන්වා දිය හැක. සරසවි පුවත්පතට ඔහුගේ ප්‍රථම කාටූනය නිර්මාණය කර ඇත. ඉන්පසු 1965 දිනමිණ පුවත්පතට, 1966 දවස පුවත්පතට කාටූන් නිර්මාණය කර දී ඇත. 1972.08.29 නිකුත් වූ ප්‍රථම චිත්‍ර කතා පත්‍රය වූ සතුට , 1966 ජනතා, 1967 Observer, සිළුමිණ, සරසවිය, මිහිර ආදී පුවත්පත් වලට කාටූන් නිර්මාණය කර ඇත. ගජමෑන්, චූටි, දොං සේතං, සිරිබිරිස්, සිමෝනා, දැක්කොත් පද්මාවතී, පැටෝ, මගෝඩිස්තුමා, ටික්කා, ලපයා, ගොඩ්ඩිං අයියා, සේන කැමිලස් අතින් නිම වූ කාටූන් චරිත විය.
C.S.ඕපාත විසින් The Morning Times පුවත්පතට, හෙන්රි තෙන්නකෝන් විසින් සමයං පුවත්පතට, පියල් උදය සමරවීර විසින් ලංකාදීප පුවත්පතට. K. කරැණාදාස විසින් සිළුමිණ හා දිනමිණ පුවත්පත් වලට, ප්‍රීති කන්නන්ගර විසින් ලංකාදීප පුවත්පතට හරිප්‍රිය විසින් දවස පුවත්පතට මෙන්ම  K.W. ජනරංජන විසින් රාවය පුවත්පතට කාටුන් නිර්මාණය කර ඇත. ජනරංජන ගේ කාටූන් චරිත වල රානන් ලූරි ගේ ආභාසය දක්නට ලැබීම විශේෂයකී. 
මීට අමතරව අංජන ඉන්ද්‍රජිත්, දාස හපුවලාන, වසන්ත සිරිවර්ධන, තිස්ස හේවාවිස්ස, අවන්ත ආටිගල, ශාන්ත වීරමුණි, දර්ශන කරැණානායක ලංකාවේ කාටූන් කලාවේ කෑපී පෙනෙන චරිත ලෙස දැක්විය හැක.  

ලෝකයේ කාටූන් කලාව
ඇමෙරිකාවේ පුවත්පතක පළ වූ ප්‍රථම කාටූනය වන්නේ 1754. 05. 04 දින පෙන්සිල්වේනියන් ගැසට් පුවත්පතේ පළ වූ Join or Die නම් කාටූනය යි. කාටූනයෙන් කැබලි 8 කට වෙන් වූ සර්පයෙක් නිරෑපණය කරයි. එහි තේරැම වන්නේ එවකට ඇමෙරිකාවේ තිබූ ප්‍රාන්ත 08 වේ. එම කාටූනයේ හිමිකරැ වන්නේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ය.
ලෝකයේ දක්ෂ කාටූන් නිර්මාණ ශිල්පියකේ ලෙස ඇමෙරිකානු කාටූන් නිර්මාණ ශිල්පී රනාන් ලූරි හදුන්වා දිය හැකිය. 1994 සිට 1997 දක්වා ඔහු Times ජාත්‍යන්තර සගරාවේ දේශපාලන කාටූන් චිත්‍ර නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත. ඇමෙරිකාවේ ආරම්භ කරන ලද Cartoon House හි කාටූන් බෙදා හරින ලූරි අද ලොව සිටින විශිෂ්ඨතම කාටූන් ශිල්පියෙක් ලෙස හැදින්වේ.  
ඇමෙරිකානු ජාතිකයෙක් වන හර්බිලොක් තවත් දක්ෂ කාටූන් නිර්මාණ ශිල්පියෙක් ලෙස සැලකේ. ඔහු 1929 සිට Daily News පුවත්පතට කාටූන් නිර්මාණය කර ඇත. 
ප්‍රංශයේ ජීන් ප්ලොංත්‍යු තවත් ලොව ප්රකට කාටූන් නිර්මාණ ශිල්පියෙකි. ඔහු වසර 30ක සිට ප්‍රංශ පුවත්පත් සදහා කාටූන් නිර්මාණය කරයි.
ඉන්දීය ජාතිකයෙක් ලෙස මුලින්ම කාටූන් නිර්මාණය කරන ලද්දේ ගගනේන්ද්‍රනාත් තාගෝර් ය. ඉන්දියාවේ කෘතහස්ත කාටූන් නිර්මාණ ශිල්පියා ලෙස ප්‍රකට වන්නේ Times Of India පුවත්පතට කාටූන් නිර්මාණය කළ R.R. ලක්ෂ්මන් ය. ඉන්දියාවේ තවත් ප්‍රකට කාටූන් නිර්මාණ ශිල්පීන් වන අබු ආබ්රහම් විසින් The Observer, The Guardian පුවත්පත් වලට ද, අජිත් නයිනාත් විසින් India Today පුවත්පතට ද, රවි ශංකර් විසින් Indian Express පුවත්පතට ද කාටූන් නිර්මාණය කර ඇත. 

ඊළග ලිපියෙන් ඉක්මනට හමුවෙමු. එතකන් පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න.
ජය....!  
සටහන : නවෝද්‍යා ගමගේ
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments