නෝට් එකක් හදන හැටි

බ්ලොග් එකේ උඩ සිට යටට තියන ලිපි සැට් එක දැක්කම මට කල්පනා වුණේ අනේ අපි කැම්පස් එද්දිත් මෙහෙම එකක් තිබ්බ නං කොච්චර ශෝක් ද නේ කියලා. (හැබැයි අයියල අක්කලා දුන්න සෑහෙන්න සප් එකක්). ඔරියන්ටේශන් එකේදි කියල දෙන්නත් ඇති ෆස්ට් ඉයර් එකේ සෙමෙස්ටර් දෙක තමා ලෝකෙම ගේම ගහන්න පුලුවන් ඇකඩමික් ස්ටේජ් දෙක කියලා. කතාව සහතික ඇත්ත. ඒ වුණාට ඕක තේරුම් යන්නේ සෙකන්ඩ් ඉයර් එකට ආවම. ඒක තමා අවුල නේ. ඇත්තම කතාව තමයි කැම්පස් එකේ ඉන්න අවුරුදු හතරට (මේ යන විදියට පහක් විතර වේවි ගණන් ගන්න එපා) වැඩිපුරම විෂයන් තියන අවුරුද්ද වුණාට සරලම සහ රිසාල්ට් වැඩියෙන් ගන්න පුලුවන් විෂයන් තියෙන්නේන් පළමු වසරේ (නිකමට නෙවෙයිනේ එක වසරෙ බබාලා කියන්නේ). දැන් ඔයාලා මේ මොන හතර බීරි කතාවක්ද, අක්ක නං කියාවි අපි එපායැ ලියන්න වගේ මට හිතෙන් බනින්න පටන් ගනීවි. මීඩියා කියන විෂය උසස්පෙළට කළ ඔයාට ලෙක්චර් එකට ගියාම නෝට් එකක් නොදුන්නට ට්‍රැක් එකට වැටෙන්න වැඩිය අමාරු වෙන්නේ නෑ. මොකට ඔයාට නිකං රිවිශන් ක්ලාස් එකක හැඟීමක් එන නිසා. ඒත් මං වගේ මීඩියා කියලා නාමයක් කැම්පස් ඇවිල්ලම ඉගන ගන්න සාමාන්‍ය පොදු ජනතාවට නං මුල් සති දෙක තුන පිස්සු හැදිලා ආයෙ හැදේවි. කොටින්ම ලෙක්චර කියන වචනයක් ගානෙ ලියනවා, ඒකත්  මිස් වේවි කියලා රෙකෝඩ් කරගන්නවත් එක්ක (පස්සේ අහන්නෙ නං නෑ ඉතිං හාර්ඩ් එක පිරෙනෝ විතරයි ) අදාළ දේ සහ අදාළ නොවන දේ තෝරා ගන්න බැරුව මාසයක් හමාරක් උඩ බිම බලබල ලෙක්චර් යන්න වෙනවා. මීඩියා ගැන අවබෝධයක් තියන, ලස්සන අකුරෙන් නෝට් ලියන පිළිවෙලට වැඩ කරන යාලුවෙක් සෙට් උනොත් නං බයක් නෑ. ඒත් එහෙම නැති වුණොත්: ආන්න එහෙම වුණොත් ඔයා කොහොමද ඔයාගෙ නෝට් එක හදාගන්නේ කියන්නයි මං යන්නේ.
හැබැයි පුතේ එකක්. සිස්ටම් එක හරියට දුවන්න නම් ඉන්පුට් එක හරියට ඕන. වැඩේ භාගෙට කරලා අයියෝ රිසාල්ට් කියන්න නං එපා. හැබැයි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි මේක මේ මගේ ක්‍රමයක්.

පළවෙනි දේ තමයි දිනපතා ම ලෙක්චර්ස් යන්න. සමහර ගෙවල්වල මල් වගේ අම්මගෙ තුරුල්ලේ උන්න දරුවො සති ගණන් ගෙදර නැතිවුණාම අම්මගෙ තාත්තගෙ සිට ගෙදර හුරතලේට හදන බල්ලා පූසට පවා සාංකාව හැදෙනවා. එතකොට එයාලව බලන්න ගෙදර යෑම ඇරුණම දෙයියනේ කියලා ඔයාලා නිවැරදිව ක්‍රමානුකූලව ලෙක්චර්ස් යන පළමු සහ අවසාන වසර වෙන්නේ පළමු වසරේ සෙමෙස්තර දෙක විතරයි (හරි බලන්නකො නැද්ද කියලා). 
එහෙම ගෙදර ගිහින් හරි අසනීපයක් වෙලා හරි දේශනයක් මිස් වුණා නම් අකුරක් නෑර ලියන හෝ රෙකෝඩ්රගන්නා කෙනෙක්ගෙන් ඒ සතියෙම ඉල්ලගන්න (කාලයක් ගියාම ඕක පස්සෙ වෙලාවක ඉල්ල ගන්න පුලුවන්, ඒත් මුල් කාලෙ වෙලාවට ඉල්ල ගන්න පුරුදු වෙන්න).
ඔයාලට තියෙන්නේ බේසික් එක ඉගන ගන්න, මීඩියා කියන විෂයේ මුල, එක එක අනුශාංගික කොටස් සහ මීඩියා වලට ගෑවිච්ච ඕනම දේක හැඳින්වීම තමා මේ අවුරුද්දෙම ඉගන ගන්නේ. ඒ නිසා ඉගන ගන්න එක ලේසී. ඕනම දෙක මුල් ටික හරි රහයිනේ (බරපතල තියරි එනකල්). සතිය අග වෙද්දි ඔයාගේ සතියේ නෝට් එක ඔයා හදාගෙන තියාගන්න ඕන.
පොතේ හැටියට (පෙරමග) ඔයාලට ලයිබ්‍රි කාඩ් තුනක් තියනවා. ලෙන්ඩින් දෙකයි රෙෆරන්ස් එකයි. විභාගයට මාසයක් එනකල් විෂයට අදාළ පොතයි ඔයා කැමතිම පොතකුයි ගන්න පුරුදු වෙන්න. අඩුම තරමේ පොත් ගන්න විතරක් සතියට දෙපාරක්වත් ලයිබ්‍රියට යන්න (පාඩම් කරන්නයි ලයිබ්‍රියේ ඉඳගෙන ලියන කටයුතු වලට අමතරව කිව්වේ). 
දන්න තරමින් ඔය කා ගාවත් ස්මාර්ට් ෆෝන් එකක් තියනවා. නැත්තම් ලැප් එක තියනවා. දෙයියනේ කියලා ෆ්‍රී වයිෆයිත් ලැබෙනවා (අයිටී රූම් එක ගාවට විතරයි හොඳේ). ඒ මුකුත් නැත්තම් ඉඩ තියන වෙලාවට දුවන්න අයි ටී රූම් එකකුත් තියනවා. සාමාන්‍යයෙන් දේශනය වෙලාවට ඔයා අමතරව කියවගන්න ඕන පොත් මොනවද කියලා දේශකවරු කියනවා. අනික සෙමෙස්තරය පටන් ගන්නකොටම අතට දෙන සිලබස් එකෙත් ඒ ටික තියනවා. ඉතින් දේශක උතුමාණෝ දේශණයට නොවැඩියා කියා හෝ අදාළ කොටස් ආවරණය කළේ නෑ කියා විභාගයට නොදී සිටීමට මන්ද කාරණා. ඒ නිසා බුකියෙ සහ අනෙකුත් සෝෂල් මීඩියාවල ඉන්න වෙලාවෙන් අරික්කාලක් වෙන් කරලා පොඩ්ඩක් විෂයට අදාල කෑලි බෑලි හොයන්න.
මොකද දන්නවද එහෙම කිව්වේ, දැන් මුල් සති මාසෙ හැමෝම පණ දාගෙන වැඩ කළාට ඔයාලා ඔයාලව අඳුනාගැනීමත් එක්ක ඔන්න ඔයාල හොයා ගන්නව සෙට් එකේ ඉන්න විශේෂ හැකියා තියන අය. ඒ හැකියා අතරේ ලස්සනට නෝට් එක හදන පරාර්ථකාමී අයත් ඉන්න පුලුවන්. ඊට පස්සේ හැමෝම කරන්නේ ඒ අහිංසක දරුවගේ නෝට් එක කොපි කරගෙන තමන්ගේ වගේ පාඩම් කරලා ලියන එක. දැන් පේපර් බලන්න ගියාම දේශකතුමාට පේන්නේ උසස්පෙළ සිංහල විචාර උත්තර පත්තරේ වගේ. මොකද පළාතේ වැඩිම සිසුන් පිරිසක් යන්නේ එකම සර් ගාවට, එයාගේ උත්තරේට තියෙන්නේ එකම උදාහරණ ඒ වගේම එකම රයිටිං ස්ටයිල් එක. ඕක වනපොත් කරගත්ත හැමෝගෙම උත්තරේ එක වගේ. ඒ වගේ ලියලා කැම්පස් එකේ ගොඩ යන්න බැරිය. 
ඒ නිසා තම තමන්ට කියල ආවේණික හැඩයක් උත්තරවල හදාගන්න. අමතරව ගූගල් කරලා මොනවා හරි කෑල්ලක් දෙකක් උත්තරේට එල්ලන්න. ප්‍රායෝගික සමාජයේ කාරණා අරගෙන උදාහරණ විදියට ඉගන ගත්ත තියරියට ඔබ්බන්න. ඔබ විද්‍යාර්ථයෙක්, විද්‍යාර්ථයා කියන්නේ නෝට් කටපාඩම් කරලා විභාග ලියන කෙනාට නෙවෙයිනේ. ඉතින් තමන්ගේ භූමිකාවට සාධාරණයක් ඉටු කරන්න.
හරි දැන් ඔහොම ආරලු බූරලු දාලා හදාගත්ත නෝට් ටික හරි (මොකක් හරි හේතුවක් නිසා යාලුවෙක්ට දේශන මිස් වුණා නම් එයාටත් දෙන්න. මොකද බෙදා ගත්ත තරමට ඔයාට මතක හිටිනවා වැඩී). විභාගයට මාසයක් තියා ඔයා ලයිබ්‍රියෙන් කතාපොත් කියවන්න ගත්ත එක නතර කරන්න ඕන. දැන් ඔයා විෂයට අදාළ පොත් විතරයි ගන්නේ. ආහ් තව එකක්, අර ඉංග්‍රීසි පොත් එහෙම තියනවා දූවිලි බැඳිලා. ආන්න එව්වා අරගෙන කියවන්න. ගොඩක් හොඳ කරුණු තියනවා. 

ස්ටඩී ලීව් එක වෙනකල් නෝට් එක ලස්සන කරගෙන සති අන්තේ කියවන්න, අර උස්සන් එන පොත් කියවලා අමතර කරුණු අහු වුණාම නෝට් එකට ඇඩ් කරන්න.
ස්ටඩි ලීව් එකේදි පාඩම් කරන්න පටන් ගන්න. ඒක විවිධාකාරයි (මං නම් හොස්ටල් එකේ උන්ට වද දිදී කුප්පි දාලා තමා පාඩම් කරන්නේ). ඔයා තෝරගන්න ඔයාගෙ විදිය. සමහරු ශොර්ට් නෝට් ගහනවා, සමහරු හයියෙන් කියවලා පාඩම් කරනවා, සමහරු ඇඳේ පෙරලිලා, සමහරු මුමුණනන්වා, එක එක විධි තියනවනේ.ඒ ඕනම විදියකට බෝඩිමේ හරි ගෙදර හරි මිදුලේ හරි කොටින්ම ටොයිලට් එකේ ඉඳගෙන හරි පාඩ කරන්න.
දැන් විභාගෙට ඇවිල්ල උත්තර ලියන්න ඔයා රෙඩි ඒත් අන්තිමට කියන්නම් ට්‍රික්ස් ටික.

හෙට විභාගය නම් අද හවසට ෆ්‍රී නම් හොඳම සෙට් එක එක්ක වලබහින්න කුප්පියකට. කට්ටිය එක්ක ඔහේ කියවන්න විෂය සම්බන්ධව පැය දෙකක් විතර. පුලුවන්තරම් උදාහරණ ගැන කතා කරන්න. ඔයා ගාව නැති උදාහරණ අනිත් අයගෙන් ඒවි. එයාලටත් එහෙමයි. පැය දෙකට වඩා එක විනාඩියක් නොයිඳ ආයෙ උන්නු තැනට ගිහිල්ලා ආයෙත් මතක් කරගන්න පාඩම් කළ දේවල්.
රහට කියලා දෙන්න පුලුවන් එකෙක් ඉන්නවනම් ට්‍රැක් එක අවුල් සෙට් එක අල්ලගෙන කතාව වගේ කියල දෙන්න (හැමෝම ගොඩ යන්න බලන්න, රිපීට් ආවොත් එපා වෙනවනේ).  ලස්සන නිර්වචන, එතකොට හයිලයිට් වෙන සමාජයීය සිද්ධි එහෙම ඔලුවෙ තියාගන්න. ඒවගෙන් තමා උත්තරේ අයිසිං කරන්න වෙන්නේ. නැත්තං ඉතිං ඔය කාගෙ කාගෙත් තියෙන්නේ බටර් කේක් තමා.
විභාග ශාලාවට යද්දි විනාඩි පහළවක්වත් කලින් එතනට ගිහින් ඉන්න. දැන් නෝට් එක අල්ලං කිරිපණුගාය හැදිලා වගේ නට නට පාඩම් කරන්න එපා (එහෙම නටන අය දැක්කට ගණන් ගන්නත් එපා). අදාළ කළමණා පමණක් අරං හෝල් එකට යන්න. විභාග නීති උල්ලංඝණය නොකර.

පේපරේ දුන්න ගමන් ලියන්න කලින් විනාඩි පහක් අරං ප්‍රශ්න ටික කියවන්න. ඔයාට හොඳටම ලියන්න පුලුවන් ප්‍රශ්න හතර  (ඊට වැඩි වෙන්නත් පුළුවන්) තෝරගෙන ලියන්න පටන් ගන්න.

මතක තියාගන්න ඔයාට පැය කීයක්ද සම්පූර්ණයෙන් ලැබෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පැය භාගයකින් උත්තරයක් ලියන්න ඕන. කොච්චර තව ලියන්න කාරණා තිබ්බත් එක ප්‍රශ්නයකට පැය භාගයකට වඩා වැය කරන්න එපා. නැත්තම් අන්තිම හරියේ ප්‍රශ්න ගෙඩි පිටින් ඇතෑරලා පස්සේ අඬන්න වෙන්නේ අනේ හලෝ එක ප්‍රශ්නයක් එහෙන් පිටින්ම ලියාගන්න බැරි උණ කියලා. කාලය කළමණාකරණය කරගන්න.

විභාගය ඉවර වුණාට පස්සේ ඒ හලූ කෝමද විභාගේ, අර ප්‍රශ්නේට උත්තරේ මේක නේද? නෑ නෑ ඕක නෙවෙයි ඒකට මේක ගගා වර් ඇක්ටිං දඟලානා නොවී ඊළඟ විෂයට සූදානම් වෙන්න දුවන්න. මොකද දැන් මොනව කතා කළත් උත්තර පත්තරේ ඉල්ලන් වෙනස් කරන්න ඔයාට බෑනේ. විභාගෙ ඉවර වුණදාට zisiji එකෙන් හරි Red hot එකෙන් හරි රයිස් එකක් කාලා ප්‍රීතිය භුක්ති විඳින්න.
දැන් ගැම්මට වැඩේට බහින්න. නෝට් නෑ, ලෙක්චර්ස් නෑ කියලා බෑ. සිලබස් එක අතේ තියනවනේ. ඒ තියන රෙෆරන්සස් ෆලෝ කරන්න. තමන්ගෙම නෝට් එකක් හදාගන්න. කොරෝනා ඉවර වෙලා කැම්පස් පටන්ගෙන දේශනකට ගිය දාට දේශකතුමාටත් සතුටු හිතේවි අනේ කොච්චර හොඳ බැච් එකක්ද මේ කියලා. අහන අහන ප්‍රශ්නෙට පැන පැන උත්තර දෙන්න. පශ්චාද් කොරෝනා සමය ආතල් එකේ ගෙවන්න අද දවස අර්ථවත්ව කැප කරන්න.
සුබ දඩයම්

සටහන : සිතාරා සෙව්වන්දි 
ජනමාධ්‍ය අධ්‍යනාංශය 

ආදි ජේෂ්ඨ (17 කණ්ඩායම )
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments