ගුවන් විදුලි මාධ්‍යයේ සුවිශේෂතා

ආදරණීය මල්ලිලා නංගිලා වගේ ම අප සියලු දෙනා පුංචි කාලේ ඉඳලා භාවිත කරපු, සා/පෙළ - උ/පෙළට අධ්‍යයනය කළ ගුවන් විදුලිය පිළිබඳව ම තමයි අපට වි.විද්‍යාල විද්‍යාර්ථයන් වශයෙන් තව ටිකක් ගැඹුරින් හදාරන්නට තිබෙන්නේ.  ගුවන් විදුලියෙන් එක් වරක් හෝ සාරපූර්ණ යමක් ශ්‍රවණය කර ඇත්නම් ජන මාධ්‍යවේදය පිළිබඳ ප්‍රාථමික මට්ටමේ දැනුමක් ඇති අයෙකුට පවා වැටහෙනවා මේ තුල ඇති " පරිකල්පනීය" (Imagination) බව. සැබවින් ම සබුද්ධික මනසකට රූපවාහිනියට වඩා ගෝචර වන්නේ ගුවන් විදුලියයි. ඕනෑ ම පුද්ගලයෙකුට පෞද්ගලිකව බැඳී හුදෙකලාවී රේඩියෝව ඇසුරු කිරීමට තරම් පෙළඹවීමේ හැකියාවක් ගුවන් විදුලිය සතුව තිබෙනවා. දක්ෂ මානවවාදී පූරකයෙකුට තමාගේ හඬට අවනත ශ්‍රාවක පිරිසක් ඉතා ම කෙටි කාලයකින් වුව ද රඳවා ගතහැකි සේම ඔවුන්ගේ චෛතසිකයන් වෙත සැලකියුතු තරමේ බලපෑමක් කිරීමට ද හැකි බව සංදේහයෙන් තොරව ඇදහිය යුතු කාරණයක්.
ශ්‍රාවකයාගේ හදවතට ම ආමන්ත්‍රණය කිරීමට ගුවන් විදුලිය බහුලව භාවිත කරන ප්‍රයෝගය වන්නේ "මධ්‍යම පුරුෂ" කථන ඌරුවයි. 
" මේ මොහොතේ අපව ශ්‍රවණය කරන නුඹ..."
       වැනි ඒක වචන යෙදුම් සේම
" ඒ ඇඟලුම් හලේ මේ වෙද්දි අපිව අහන් ඉන්න ඔබ සියලුම දෙනාව..." 
වැනි මධ්‍යම පුරුෂ බහු වචන ආමන්ත්‍රණ ආරයක් ද ගුවන් විදුලි සම්ප්‍රේෂකයන් භාවිත කරනවා.
 මෙවැනි සුලභ රේඩියෝ වදන් ඔබ ඕනෑ තරම් අසා තිබෙනවා ඇති. මෙලෙස නිතර ඇසෙන රේඩියෝ "කට කියවීම්" වලට වඩා හරවත් හා සුභාවිත ගුවන් විදුලි පඨිතයන් {Texts (පණිවුඩ)} ද රේඩියෝව හරහා අදටත් විකාශය වනවා. 
මේ අග්‍රගණ්‍ය සන්නිවේදන මාදිලිය තුළ ගැබ්වන සුවිශේෂී සෛද්ධාන්තික ලක්ෂන කිහිපයක් ම වෙයි.
         1) ශ්‍රව්‍ය මාධ්‍යයකි - Audio medium 
         2) පරිකල්පනීය බව - Imagination
         3) සංඛ්‍යාත තරංග භාවිතය - Based on frequency system 
         4) ජංගම මාධ්‍යයකි - Mobility medium
         5) ඉබේ ශ්‍රවණය වීමට හැර වෙනත් කාර්යයක පවා නිරත විය හැකි ය - No need to specific time to listen 

   පොත් පිරෙන්නට මෙවැනි සිද්ධාන්ත පාඩම් කළ ද ඔබට සැබවින් ම ගුවන් විදුලිය කියවීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ සක්‍රීය ග්‍රාහකයෙකු ලෙස සවිංඥාණිකව, දක්ෂ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකුට කෙටි වේලාවක් හෝ දෛනිකව සවන් දීමට හුරු වීමයි. එවිට රූපවාහිනිය හරහා චලන රූප ( motion pictures) පවා භාවිත කරමින් කෙරෙන සන්නිවේදනයටත් වඩා ප්‍රබල ලෙස, හඬ මඟින් පමණක් විසරණය වන ගුවන් විදුලිය ඔබගේ චිත්ත සන්තානයට කෙතරම් බලපෑම් කරනවාදැයි ඔබට ම වැටහෙනු ඇත. එලෙස දෘෂ්ඨිවාදයන් (ideology) නිර්මාණය කිරීමට රේඩියෝවට ඇත්තේ පුදුමාකාර ශක්‍යතාවයකි. 
      එවන් පරිපූර්ණතාවයකින් හඬවාහිනී කළ ප්‍රතිභාපූර්ණ පූරකයෙකු ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හඳුනාගත හැකි ය. බන්දුල නානායක්කාරවසම් මහතා 2011/2012 සමයේ fm දෙරණ හරහා ඉදිරිපත් කළ "රෑ ඉර පාන" නම් අතිවිශිෂ්ඨ ගීත වින්දන වැඩසටහන ද එවන් ධනාත්මක, හද පිනන, ආශ්වාදජනක, පිරිපුන් නිෂ්පාදනයකි. 
     හිතු මනාපයට chart show කියාගනිමින් දොඩවන රේඩියෝ ගිරවෙකු නොවී ඕනෑ ම සරල රස වින්දන වැඩසටහනක සිට ප්‍රබුද්ධ මට්ටමේ වැඩසටහනක් දක්වා ඉදිරිපත් කිරීමට නිවේදකයා සතුවිය යුතු ගුණාංග කිහිපයකි. 
         1) නිරවද්‍ය භාෂා භාවිතය
         2) නිවැරදි වචන උච්චාරණය
         3) හරවත් පඨිත සන්දර්භයන් පමණක් තෝරා ගැනීම
         4) ස්වකීය ග්‍රාහක ප්‍රජාව යම් තරමකට හෝ හඳුනාගෙන සිටීම 
        
ලංකාවේ මෙන් ම යුරොපීය රටවල ද ගුවන් විදුලියේ අතු පතර විහිදා යාම සිදුවන්නේ 20 වල ශතවර්ෂය ආරම්භයේ ය. එකල ඇමරිකාව තම වාණිජ අරමුණු සඳහා පමණක් ම ගුවන් විදුලිය භාවිත කළ ද බ්‍රිතාන්‍යයේ BBC වැනි ආයතන හරහා ප්‍රජාමූල අවශ්‍යතා වෙනුවෙන් ද ගුවන් විදුලිය පෙනී සිටි අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ය. සෝවියට් සංගමය ද එකල සමාජ, දේශපාලනික, සංස්කෘතික හා අධ්‍යාපන කරුණු වෙනුවෙන් ගුවන් විදුලිය භාවිත කළේ ය. 

වර්තමානය වන විට අතිශය සරල උපකරණ භාවිතය මෙන් ම අන්තර්ජාලය ආශ්‍රිතව දක්වන මාධ්‍ය අභිසාරී ලක්ෂණ ද ගුවන් විදුලියේ ප්‍රගමනය වෙනුවෙන් දැවැන්ත සහයක් එක් කරයි. 
සන්නිවේදනයෙන් තොරව මානව පැවැත්මක් නොමැති බව අප සියලු ම දෙනා හොඳින් දන්නා කරුණකි. එවන් වටපිටාවක මානවයා කළ ප්‍රථම සජීවි - විද්‍යුත් ජන මාධ්‍ය සොයාගැනීම ගුවන් විදුලිය විය. එය ලොව පුරා ඉතා ම කෙටි කලකින් ප්‍රචලිත වීමට බලපෑ විශේෂ කරණු කිහිපයක් තිබේ. 
     1) සමාජය ඕනෑම ස්ථරයක පුද්ගලයෙකුට ග්‍රාහකයෙකු වීමේ හැකියාව ( පුවත්පතට මෙන් සාක්ෂරතාවය අවැසි නොවීම)
     2) අවම වියදම 
     3) විනොදාස්වාදය සාර්ථකව සැපයීමට තරම් ග්‍රාහකයාට සමීප වීම
     4) තොරතුරු සම්පාදනය වේගවත් වීම
     5) එකවර පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් ආවරණය කිරීමේ හැකියාව. 

ගුවන් විදුලිය ගැන ඇත්තටම ඉගෙන ගන්න - දේශීය විදේෂීය ප්‍රශස්ථ ගුවන් විදුලි වැඩසටහන් ඇසුරු කරන්න.

සටහන : නිපුන් චමුදිත මුණසිංහ 
ජනමාධ්‍ය අධ්‍යනාංශය
සිව්වන වසර
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments