මුද්‍රිත මාධ්‍යයේ ආරම්භය

චීන ජාතික සායි ලූං ක්‍රි.ව. 105 දී කඩදාසි වලට සමාන දෙයක් නිපද වූ අතර මුද්‍රිත මාධ්‍යයට ගමන්මග ආරම්භ කරන්න මූලිකම පදනම උනේ මේ සොයාගැනීමයි. 1750 දී ප්‍රංශ ජාතික නිකලස් ලුයි රොබර්ට් මුල්ම කඩදාසි නිපදවන යන්ත්‍රය නිර්මාණය කිරීමත් සිදු කරනු ලැබූ අතර පසුකාලීනව අරාබි වෙලදුන් මේවා යුරෝපයට රැගෙන යන ලදී. මෙනිසාම මුල් කාලයේ මුද්‍රණ ශිල්පය 'සකල කලාවන්ගේ ආරක්ෂකයා' ලෙසද සලකන ලදී. ක්‍රි.ව. 100 පමණ වන කාලයේ සිටම චීන ජාතිකයෝ කඩදාසි භාවිතා කර ඇත. යුරෝපයේ කඩදාසි තනන ලද්දේ 1150 තරම් කාලයේදීය.මුලින්ම භාවිතා වූයේ ඵලක මුද්‍රණ ක්‍රමයයි.මෙහිදී එක් පොතක එක් පිටපතක් සදහා එක් ඵලකයක් අවැසි විය. එවැනි ඵලක යොදාගත හැක්කේ ද එක් ග්‍රන්ථයකට පමණකි. පසුව අමුණන අකුරු භාවිතයට පැමිණියේ ය. 
  මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මුද්‍රණය වූ ග්‍රන්ථය 'සද්ධර්ම පුණ්ඩරීක' යන ධර්ම ග්‍රන්ථය බව සැලකෙන අතර එයද චීනයේ මුද්‍රණය වූවකි. මෙම සිදුවීම් අතරවාරයේ ජොහැන්නස් ගුටෙන්බර්ග් විවිධ ක්‍රම ඔස්සේ යමින් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවන්නට සමත් විය. ඔහුගේ යන්ත්‍රය නිසා මිනිස් ලෝකය තවත් වර්ධනය වූ අතර එනිසාම ඔහු 'මුද්‍රණ ශිල්පයේ පියා' ලෙස ද හැදින්වීය. මොහුගේ ක්‍රමය පදනම් කරගෙන ඉතාලියේ පුද්ගලයෙක් ඇලඩින් මුද්‍රණාලය නමින් මුද්‍රණ ආයතනයක් ද ආරම්භ කරන ලදී.
  උස්තල මුද්‍රණ ක්‍රමය, සමතල මුද්‍රණ ක්‍රමය යනු මුද්‍රණ කර්මාන්තයේ විකාශය සිදු වූ මුල්ම ක්‍රම දෙකයි. නූතන ලෝකය මෙම මුද්‍රණ ක්‍රමයන් අභිබවා යමින් තාක්ෂණය ඔස්සේ ඉතා ඉහල ප්‍රමිතියකින් මුද්‍රණයන් නිපදවති. කර්මාන්තය එසේ වන විටදී පුවත්පත් විකාශය මුලින්ම සිදු කරන්නේ රජයේ නිවේදන මුද්‍රණය කිරීම යි. ක්‍රි.ව.59 දී රෝමයේ 'ඇක්ටා ඩියුර්නා' නෛන් බිහිවූ පුවත්පත් පත්‍රිකාව පුවත්පත් ඉතිහාසයේ මුල්ම සිහිවටනය ලෙස සැලකේ.දේශපාලන,සමාජ,ආර්ථික තතු එහිලා සටහන් විය.එයට අමතරව විවිධ රටවල් යුධමය තොරතුරු හෝ වෙනත් වාණිජමය තොරතුරු උදෙසා විවිධ පුවත්පත් කලාප ගෙන යන ලදී.
   ලන්ඩනයේ මුල්ම ඉංග්‍රීසි පුවත්පත ලෙස 'කොරැන්ටෝස්' පුවත්පත සලකයි.ප්‍රථම ඉංග්‍රීසි දිනපතා පුවත්පත වන්නේ 'The Daily Courant' පුවත්පත යි.  උසස් ගණයේ පුවත්පත්ක් ලෙස 'The Times' සලකන අතර 'The Observer' යනු බ්‍රිතාන්‍ය පුවත්පත් ඉතිහාසයේ සංධිස්ථානයකි. ප්‍රංශයේ පළමු පුවත්පත වූයේ 'Journal De Paris' ය.  'Journal Des Debets' යනු පසුව බිහිවූ දිගුකලක් යනතුරු ප්‍රකාශයට පත් වූ පුවත්පතකි. ඇමරිකාවෙන් බිහි වූ මුල්ම පුවත්පත ලෙස 'Public Occurance both Foreign and Domestic' යන්නයි.
  සිංහල පුවත්පත් විකාශය ගත්කල මෙරට බිහි වූ මුල්ම මාසික පුවත්පත 'ලංකා නිධානය' නම් විය. ලංකෝපකාරය නමින් බිහිව තිබූ මුද්‍රණාලයක් නිසා එයින් බොහෝ පුවත්පත් මුද්‍රණය වන්නට විය. 'ලංකාලෝකය' යනු එයින් මුද්‍රණය වූ පුවත්පතකි. ලංකා ආණ්ඩුවේ ලියාපදිංචි කරන ලද මුල්ම පුවත්පත වූයේ 'ලක්මිණි පහන' යි. 'ලක්‍ රිවි කිරණ', 'ලංකා ප්‍රදීපය' යනු පසුව බිහි වූ පුවත්පත් වේ. 
 'කවට කතිකයා' යනු මෙරට බිහි වූ මුල්ම කවට පුවත්පත යි. කවට දක්ෂයා, කවට මිත්‍රයා, කවටයා යනුවෙන් කලාප කිහිපයක්ම ඒ ඔස්සේ බිහි විය. ලේක් හවුස් මෙන්ම උපාලී පුවත්පත් සමාගම යනු මෙරට පුවත්පත් කලාවේ නම් තැබූ සමාගම් වන අතර අදටත් පුවත්පත් කලාව මෙසේ පවතින්නට පදනම් වූයේ මෙම සමාගම් ය. මෙයට අමතරව කම්කරු  සමාගම් හා වෙනත් විකල්ප ධාරාවන්ගෙන් විවිධ පුවත්පත් බිහි විය. 'කම්කරුවා' ,'සම සමාජය',  'ඇත්ත' යනු එවැනි පුවත්පත් කිහිපයකි.
 එක් එක් මාධ්‍ය වල ගමන්මග සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් විභාගෙට එන නිසාම දැන් ඉදන්ම මේ සංධිස්ථාන ටික හරි මතක තියාගන්න එක වටිනවා. වැඩි විස්තර එකතු කරගන්න මේ පොත් ටිකත් පාවිච්චි කරන්න. ජය...!!

1.මුද්‍රිත සන්නිවේදනයේ සංවර්ධනය- නිහාල් පී.අබේසිංහ 
2.පුවත්පත් කලා සමීක්ෂා 1,2,3
3.පුවත්පත් කලාව- නිශ්ශංක මදුරප්පෙරුම 
4.පුවත්පතේ කතන්දරේ- චන්දන විජේකෝන්

සටහන 
හිමර්ෂී කුමාරනායක
සිව්වන වසර
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය 
ශ්‍රීපාලි මණ්ඩපය

Comments