ජනමත ගොඩනගන අළුත් facebook ආණ්ඩුව


රටක් මිනිසෙකුට සම කළොත් එකී මිනිසාගේ මොළයට සම කළ හැක්කේ එරට තුළ පවතින ආණ්ඩුවයි.මිනිසාගේ සියළුම ක‍්‍රියාවන් මොළය ඔස්සේ මෙහෙයවන්නා සේ රටක ආණ්ඩුව මගින් එකී රටේ සියළුම ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබයි.මොළය අක‍්‍රීය වූ විටකදී මිනිසෙකුට සිදුවන ක‍්‍රියාව මෙයැයි කියා විස්තර කිරීමට අවශ්‍යය නැත.එසේම රටක ආණ්ඩුව අක‍්‍රීය වූ විටෙක රටට හොද කලදසාවක් උදා වන්නේද නැත.මේ කියන්නට යන්නේ මොළය ගැනවත් , ආණ්ඩුව ගැනවත් කතාන්දරයක් නොවේ.මෑතකදී පායා එන අළුත් ආණ්ඩුවක පෙරනිමිතිය.



ෆේස්බුක් යනු සමාජ ජාලා වෙබ් අඩවියකි(Social Media).ෆේස්බුක් යනු මෙයැයි කියා අළුතින් කිසිවෙකුට හඳුන්වාදීමට තරම් එය නුහුරු දෙයක් නොවන්නේය.ෆේස්බුක් යනු අද වන විට සියළුම සමාජ ජාලා වෙබ් අඩවි අතර අංක එකේ පවතින සමාජ ජාලා වෙබ් අඩවියකි.මාධ්‍යය අපට ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.එනම් සාම්ප‍්‍රධායික මාධ්‍ය , නූතන මාධ්‍ය  සහ නව මාධ්‍ය යනුවෙනි.සාම්ප‍්‍රධායික මාධ්‍ය ඝනයට අයත් වන්නේ හූ කීම , බෙර හඬ , දුමාර යැවීම වැනි අපේ පුරාතන මානවයින් සන්නිවේදනය කිරීම උදෙසා භාවිතා කරන ලද මාධ්‍ය යන්ය.ක‍්‍රමයෙන් මිනිසාගේත් , තාක්ෂණයේත් දියුණුවත් සමග පුනරුද , විවිධ අවධි පසු කරමින් මිනිසා සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය භාවිතයට පැමිණියේය.අද අපි භාවිතා කරන රූපවාහිනිය ,ගුවන් විදුලිය , පුවත්පත් මානවයා සන්නිවේදනය සඳහා භාවිතා කරන නූතන මාධ්‍ය වේ.තාක්ෂණයේ දිනෙන් දින දියුණුවත් , නව සොයා ගැනීම් සමග මීලගට සන්නිවේදන මාධ්‍ය ලෙස නව මාධ්‍ය භාවිතය පැමිණියේය.අද අප අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරනු ලබන සියළුම සන්නිවේදන ක‍්‍රමයන් අයත් වන්නේ නව මාධ්‍ය ඝනයටය.


අන්තර්ජාලය මාධ්‍ය මෑතකදී ජනප‍්‍රිය වූවත් අද වන විට නැතුවම බැරි සන්නිවේදන මාධ්‍යක් බවට අන්තර්ජාලය භාඉතයට පැමිණ ඇත.විශේෂයෙන්ම මෙකී නව මාධ්‍යන්ගේ ජනප‍්‍රියත්වය නිසාවෙන් අද වන විට මිනිසා රූපවාහිනිය , ගුවන්විදුලිය , පුවත්පත් යන නූතන මාධ්‍යන්ගෙන් පවා ඈත් වෙමින් පවතී.නව මාධ්‍ය එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා කිව්ව ගමන් අපේ හිතට මුලින්ම එන්නෙ ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය.ෆේස්බුක් කියූ සැනින් නිල්පාට ඇප්ලිකේෂනයක් හරහා නිව්ස් ෆීඞ් එකේ උඩට පහළට යෑමට මනස ගෙන ඒම තරම් ෆේස්බුක් අද වන විට අප සමග සමීප සම්බන්ධතා පවත්වනවා.

මාර්ක් සකර්බර්ක් ෆේස්බුක් නිෂ්පාදනය කරන්නේ මූලික වශයෙන් නවතම මිතුරන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන සමාජ ජාලා වෙබ් අඩවියක් ලෙසිනි.නමුත් ෆේස්බුක් මේ තරමට ජනප‍්‍රිය වී විශ්වීය ආධිපත්‍යක් දරයි යැයි ඔහුවත් කෙදිනක හෝ නොසිතන්නට ඇත.පසුගියදා තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධිය කෙලින්ම ජාතිවාදී මුහුණුවරක් ගත් බව කිව හැකිය.මිනිසුන් ගැටුම් ඇති කර ගැනීමේදී තමන්ගේ වෛරී සහගත හැගීම් උත්දීපනය කළ හැකි එක් කාරණයක් ලෙස ජාතිවාදය දැක්විය හැකිය.ඊට අමතරව ආගම්වාද , කුල මල වාද වැනි හේතු මතද මිනිසුන් වැඩි වශයෙන් ගැටුම් ඇති කර ගැනීමට පෙළඹේ.එසේම එම ගැටුම් ප‍්‍රචණ්ඩ ගැටුම් දක්වා වර්ධනය වන්නේ මෙකී සාධක ඒ තරම් පිළිල වන බැවිනි.තෙල්දෙණියේ ඇති වූ සිද්ධි පෙළ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප‍්‍රචාරණය කළේ නැත.බහුතරයක් මෙය එතරම් විශාල කාරණයක් ලෙස නොදකින්නේ මාධ්‍යයේ සහභාගීත්වය ඒ තරම් දැක ගැනීමට නොලැබුණ නිසාය.ඒ කෙසේ වෙතත් පෙර පරිදි මේ ආකාරයේ පුවත් විශේෂ පුවත් මගින් බරපතල ලෙස මාධ්‍ය හරහා සමාජය ගත  නොකලේ එය සමාජයට අහිතකර ලෙස අනිවාර්යෙන්ම බලපාන බව කල් තියා දුටු පෙර නිමිති නිසාවෙනි.

නමුත් ජනමත ගොඩනැගිය හැකි අලූත් මෙවලමක් ලෙස ෆේස්බුක් නිර්මාණය වී තිබේ.තමන් කැමති අදහස් දැක්වීමට පමණක් නොව අකමැති පුද්ගලයෙකුට මඩ ගැසීමට පවා අද වන විට ෆේස්බුක් අපූරු මෙවලමක් ,ආයුධයක් ලෙස මිනිසා භාවිතා කරමිනි සිටී.තෙල්දෙණියේ ඇති වූ සිද්ධිය රූපවාහිනී , ගුවන්විදුලි, පුවත්පත් යන නව මාධ්‍යන් වලට ප‍්‍රථමයෙන් ප‍්‍රචාරය වූවේ ෆේස්බුක් හරහාය.අවිධිමත් මාධ්‍යක් ලෙස වූවත් එකී පුවත් වෛරස් උණක් මෙත් ක්ෂණිකව පැතිරී ගියේය.ඛේදනීය තත්ත්වය වන්නේ එය නොවේ.අව්‍යාජ තොරතුරු පවා මේ ඔස්සේ ප‍්‍රචාරණය වීමයි.මිනිසුන් කුපිත කරන ආකාරයේ , ජාතිවාදී හැගීම් ඇවිස්සෙන ආකාරයේ පාඨයන් ,පෝස්ට් දස දහස් මිලියන ගණන් ෆේස්බුක් හරහා එහා මෙහා ප‍්‍රචාරණය වීමට වැඩි වේලා ගියේ නැත.

තත්වය මෙසේ වන විටදී මෙරට ආණ්ඩුවට ෆේස්බුක් සමාජ ජාලය ඇතුළු අනිකුත් සමාජ ජාලා සහ ක්ෂණික කෙටි පණිවිඩ පැය කිහිපයකට දැනුම් දෙන තුරු වාරණයකටලක් කිරීමට සිදු විය.

ෆේස්බුක් අද වන විට ජනමත ගොඩ නගන පාලකයෙක් වී අවසානය.මෙහි ඛේදනීය තත්වය වන්නේ නොදැනුවත්කමට නොසැලකිල්ලෙන් අසාධාරණ ආකාරයෙන් මේවා තුළ හැසිරෙන්නන් සිටීමයි.අලූත් මතයන් ගොඩනගන ප‍්‍රමුඛයෙක් බවට අද වන විට ෆේස්බුක් නිර්මාණය වී ඇත.ආණ්ඩුවක් ලෙස සමාජ ජාලා වෙබ් අඩවි තුළ අසත්‍ය අව්‍යාජ තොරතුරු ඇතුළත් කරන්නන් වාරණයට ලක් කළ යුතු කාලය එළඹී ඇත.

Comments